බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට තෙවරක් වැඩම කළ බව විනය අටුවාව, මහාවංශය ආදී පෞරාණික ග්‍රන්ථවල සඳහන් වී ඇත්තේ ය. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පසළොස්වක් පොහෝ දිනයෙහි යකුන් දමනය කරනු පිණිස මහියංගණයට වැඩි සේක. බුදුවීමෙන් පස්වන වසරෙහි බක්මස අමාවක් පොහෝ දින උදය කාලයේ මිණිපළඟක් නිසා යුද්ධයට සැරසී සිටි චූලෝධර මහෝධර යන නා රජුන්ගේ යුද්ධය සන්සිඳවීම පිණිස දෙවන වර නාගදීපයට වැඩ වදාළ සේක. තෙවන වර බුදුවීමෙන් අටවන වස වෙසක් පසළොස්වක් පොහෝ දිනයෙහි කැළණි පුර විසූ මණිඅක්ඛික නම් නා රජුගේ ආරාධනාවෙන් පන්සියයක් රහතන් වහන්සේ සමග තථාගතයන් වහන්සේ කැළණි පුරයට වැඩ වදාළ සේක. බුදුරජුන් ලක්දිවට වැඩම කළ පළමුවන දෙවන වාරවලදී අන් ස්ථානවලට වැඩම කළ බවක් විනය අටුවාවෙහි හෝ මහාවංසයෙහි සඳහන් නොවේ. කැළණි පුරයට වැඩම කළ තුන්වන වාරයේදී ස්වර්ණමාලී චෛත්‍යස්ථානය, ථූපාරාම චෛත්‍යස්ථානය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය, මුතියංගණ චෛත්‍යස්ථානය, දීඝවාපී චෛත්‍යස්ථානය, කැළණි චෛත්‍යස්ථානය, යන ස්ථාන සයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටි බව විනය අටුවාවෙහි සඳහන් වේ. ඒ ගමනේදී සමන්තකූට පව්වට වැඩවදාරා එහි සිරිපා සටහන පිහිට වූ බව හා එම පර්වත පාදයෙහි දිවා විහරණය කොට දීඝවාපිය හා ශ්‍රී මහා බෝධිය පිහිටන ස්ථානය, රුවන් වැලි සෑය පිහිටන ස්ථානය. ථූපරාමය පිහිටන ස්ථානය, ශෛල චෛත්‍ය පිහිටන ස්ථානය, යන තැන්වල නිරෝධ සමාපත්තියට සමවන් බවද මහාවංසයෙහි සඳහන් වේ.
ඇබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමක් වුව ද යම්කිසි තැනක වැඩ සිටින්නේ නම් එතැන බුදුරදුන් වැඩ සිටින්නාක් වැනි ය. සුමන සාමණේරයන් විසින් දහම්සෝ රජු වෙතින් මෙරටට වැඩම කරවන ලද ධාතූන් වහන්සේ ලා මේ රටේ දාගැබ් බුදුපිළිම ආදියෙහි විසිර වැඩ සිටින්නාහ. එබැවින් සොළොස්මස්ථානයට පමණක් නොව සෑම තැනම දාගැබ් බුදුපිළිම මහබෝ යන චෛත්‍යයන්ට බුදුරජුන්ට මෙන්ම ගරු බුහුමන් කළ යුතුය. ධාතූන් වහන්සේ ලා නැත්ද බුදුරදුන් උදෙසා කර ඇති උද්දේශික චෛත්‍ය වන බුදු පිළිමවලටද ගරු බුහුමන් කළ යුතුය.