වැඳීමේ අනුසස්

වැඳීමට පිදීමට සුදුසු ගුණයන්ගෙන් යුත් බුද්ධාදි උත්තමයන් වහන්සේ ලාට වැඳීමෙන් ලැබෙන අනුසස මෙලොව පරලොව දෙකෙහිදීම ලැබෙන්නේ ය. මෙලොව ලැබෙන අනුසස් මෙසේ වදාරා තිබේ.

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධාපචායිනො

චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං

(ධම්ම පද සහස්සවග්ග)

“අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තාට ආයුෂය වර්ණය සැපය බලය යන මේ ධර්මයෝ සතර දෙන වැඩෙත්ය” යනු එහි තේරුම යි.

මේ ආයු වැඩීම යයි වදාරා ඇත්තේ අභිවාදනය කරන මනුෂ්‍යයා හට නියම ආයුෂය ඉක්මවා අභිවාදනයේ බලයෙන් වර්ෂ සිය ගණනක් දහස් ගණනක් ජීවත් විය හැකි බව නොව රෝගාදී අන්තරායයන් නිසා ආයුෂය තිබියදී අතරකදී මරණය නොවී නියම ආයු කාලය ජීවත් විය හැකිවීම ය. වන්දනාමය කුශලය, පැමිණෙන්නා වූ රෝගාදී අන්තරායයන් මැඩලිය හැක්කේ ද ඒ කුශලයේ බලය අනුව ය. වඳින්නවුන්ගේ නුවණ හා ශ්‍රද්ධාව අනුව වන්දනාමය කුශලය ද කුඩා මහත් වේ. දුබල වන්දනාමය කුශලය බලවත් හේතුවකින් පැමිණෙන අන්තරායයන් මැඩලීමට සමත් නොවේ. ස්වල්ප වූ ජලය මත මහ ගින්නක් නිවීමට සමත් නො වන්නාක් මෙනි. බලවත් වන්දනාමය කුශලය එයට වඩා බලයෙන් අඩු අකුශලයන් නිසා වන අන්තරාය වළක්වා දිවි රැකදීමට සමත් වේ. නුවණින් කරන දුබල වන්දනාමය කුශලයන්හි එතරම් බලයක් නැති බව කිව යුතුය. නුවණින් යුක්තව බලවත් සැදැහයෙන් යුක්තව දවස දෙවේලේ තුනුරුවන් වඳින තැනැත්තාගේ ඒ කුශලය ඉතා බලවත් ය. එය අනේකාන්තරායයන් දුරු කොට ආයුරාරෝග්‍යාදී අනේක සම්පත් සාදා දීමට සමත් වේ.

ගින්නක් ඇතිවනු සමඟම එයින් ආලෝක රූප ඇතිවී එය අවට පැතිරී යන්නාක් මෙන් සත්ත්වයාගේ හෘදයෙහි සිතක් ඇතිවනු සමඟම ඒ සිතින් ආලෝකය වැනි යම්කිසි රූප කොටසක් ඇති වී ශරීරය තුළ පැතිර යන්නේ ය. ශරීරයෙන් ගමනාදී ක්‍රියා කෙරෙන්නේ එසේ ඇතිවන රූප නිසා ය. සිතින් ඇතිවන රූප සිත්වල සැටි සැටියට අනේකප්‍රකාර ය. කෝපය, භය, ශෝකය යන මේවා ඇති වූ කල්හි ඒ පුද්ගලයාගේ ශරීර වර්ණය වෙනස් වී විරූප වන්නේ සමහරවිට ශරීරයෙන් දහදිය ගලන්නට වන්නේ වෙවුලන්නට වන්නේ කෝපාදියෙන් යුක්ත සිත්වලින් ඇති වූ නො මනා රූප ශරීරයේ පැතිරයාම නිසා ය. ප්‍රීතියෙන් සිටින තැනැත්තෙකු දෙස බැලුවහොත් ඔහුගේ ශරීරය පිනා ගොස් පැහැපත් වී ඇතිබව දැකිය හැකිය. එසේ සිදුවන්නේ ප්‍රීතිසහගත සිතින් ඇති වූ ප්‍රණීත රූප ඔහුගේ ශරීරයෙහි පැතිරයාම නිසාය. තථාගතයන් වහන්සේ ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද සෘද්ධි බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය හ. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද සෘද්ධි බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන් ද සියලු සතුන්ට අග්‍රයහ. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කොට ඇති වන්නාවූ ද උන්වහන්සේගේ රූපකාය අරමුණු කොට ඇතිවන්නාවූ ද බලවත් වූ ශ්‍රද්ධාදියෙන් යුක්ත වන සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වන්දනා කුශල චිත්තය අතිප්‍රණීත රූප කොට්ඨාශයක් ඇති කරන්නකි. එයින් ඇති කරන ප්‍රණීත රූප ශරීරයෙහි පතළ කල්හි වාතාදි දෝෂයන් කිපී ඇති නම් ඒවා සන්සිඳේ. ඉන්ද්‍රියෝ පිනායෙති. ලේ මස් ආදී ධාතුහු ද පිණා යෙති. ඒවායේ බලයද වැඩි වේ. එයින් රොගවලින් වැළකීමේ ශක්තිය ලැබේ. ඇත්තා වූ රෝග ද සන්සිඳේ. සම්පූර්ණයෙන් සුව නොවූව ද තරමක ගුණයක් මුත් ලැබේ. ධර්ම සංඝ රත්න දෙක ද අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ඒ දෙකට වන්දනා කිරීමෙන් ද ඉහත ගුණ ලැබෙන්නේ ය. යමෙක් බුද්ධාදී රත්නත්‍රයට ශ්‍රද්ධාවෙන් යුක්තව දිනපතා වන්දනා කෙරේ නම් ඔහුගේ සන්තානයෙහි ඒ ප්‍රණීත රූප නැවත නැවත පැතිර යාමෙන් ජීවන ශක්තිය ලැබී අතරකදී මිය නො ගොස් නියමිත ආයුකාලය ඔහුට ජීවත් විය හැකි වේ. එය ආයු වැඩීමය. වර්ණ සුඛ බල වැඩීම ද එසේ ම සිදු වේ. තෙරුවන් වැඳීමේ ගුණ මෙ පමණක් නොවේ. නිතර තෙරුවන් වඳින තැනැත්තා දෙවියෝ රකිති. ඔහුගේ රක්ෂාව දියුණු වේ. කෙත්වතු පාළු නොවී දියුණු වේ. ග්‍රහ අපල දුරු වේ. කොතරම් අවාසනාවත් පුද්ගලයෙකු වුව ද දිනපතා කලක් තෙරුවන් වැඳීම කළහොත් ඔහුගේ අවාසනාව දුරු වී වාසනාව උදාවේ. නිතර තෙරුවන් සිහි කිරීම ඇසුරු කිරීම පව්කම්වලින් වැළකී සිටිය හැකි වීමට ද හේතු වේ. කියන ලද ගුණ වැඳීමෙන් පමණක් නොව තවත් පින්කම් වලින් ද ලැබිය හැකිය. වන්දනාව වනාහි කෙනෙකුට දවස දෙවේලේ දීර්ඝ කාලයක් වුව ද කළ හැකි පින්කමකි. අනිත් පින්කම් එසේ කිරීමට පහසු නැත. එබැවින් මෙලොව ආයුෂ වර්ණාදිය ලැබීමට වන්දනාව විශේෂ පින්කමක් හැටියට කියනු ලැබේ.

වන්දනාමය කුශලයෙන් මරණින් මතු ලැබෙන විපාකය නම් දෙව් ලොවත් මිනිස් ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබීම යි. මෙය විශේෂයෙන් උපනුපන් ජාතියේ අන්‍යයන් විසින් ගරුබුහුමන් කරන පුද්ගලයෙකු වීමට හේතු වේ.