පූජාව හා දානය

පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇත්තේය. තථාගතයන් වහන්සේ විසින් මංගල සූත්‍ර දේශනයේදී “පූජාච පූජනීයනං” යනාදී ගයෙන් පූජාව එක් මංගල්‍යයක් ලෙසත් “දානඤ්ච ධම්මචරියා ච” වදාරා ඇත්තේ පූජාව ය දානය ය කියා පින්කම් දෙකක් ඇති බැවිනි. ඒ දෙක්හි ඇත්තේ මඳ වෙනසකි. දාන ශීල භාවනා වශයෙන් කුශලය තුනට බෙදන තැන්වලදී පූජාව දානය යන මේ දෙකම දානමය කුශලයට ම අයත් වේ.

උසස් පුද්ගලයනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම් වශයෙන් පුෂ්පාදී යම්කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම් වේ. තමාට උසස් වූ හෝ පහත් වූ හෝ සම වූ හෝ කවරෙකුට වුව ද අනුග්‍රහයක් වශයෙන් යම්කිසිවක් ප්‍රදානය කිරීම දාන නම් වේ. ගුණවත් පුද්ගලයනට අනුග්‍රහ වශ්යෙන් ගෞරවයෙන් ආහාරපාන වස්ත්‍රාදිය පිරිනැමීමට පූජාවය යි ද කිය හැකිය. දානයයි ද කිය හැකිය.

දානය විශේෂයෙන් අනුග්‍රහ කිරීම ප්‍රදාන කොට ඇතියකි. ප්‍රතිග්‍රාහකයාට උවමනා නැති දෑ දීම උසස් දානයක් නොවේ. උසස් දානයක් වන්නට ප්‍රතිග්‍රාහකයාගේ උවමනා සළකා බලා ප්‍රතිග්‍රාහකයාගේ උවමනා පිරිමැසෙන දෙයක් දිය යුතුය. අනුග්‍රහ පූර්වක පූජා කරන්නවුන් විසින් ද ප්‍රතිග්‍රාහකයන්ගේ උවමනා සලකා බලා ප්‍රයෝජනවත් දේවල් පිදිය යුතුය.

අනුන්ගෙන් යම්කිසිවක් උවමනා නැති උසස් පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජා කිරීමේදී තමා උසස් කොට සලකන ඒ පුද්ගලයාට නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසු ය. ප්‍රතිග්‍රාහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නො වීම එහිදී සැලකිය යුත්තක් නොවේ.

උසස් පුද්ගලයන් දක්නට යන විට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම් වශයෙන් මල් පොකුරක් ගෙන ගොස් පිළිගැන්වීම දඹදිව සිරිතකි. මල් සැමදෙන කැමති වස්තුවකි. එය ශුද්ධ වස්තුවක් ලෙස ද සලකති. එබැවින් දෙවිවරුන්ට ද මල් පුදති. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයෙකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝ ද මල් ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද ගෙනැවිත් පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ ද ඒවා පිළිගත්හ. තථාගතයන් වහන්සේට මල් වලින් ප්‍රයෝජනයක් නැත ද උන්වහන්සේ ට ගරු කිරීමක් වශයෙන්, ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්නා වු ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින් කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිනිවීමෙන් පසු ද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේට මල් පුදන්නාහ. පිරිනිවියා වූ තථාගතයන් වහන්සේට ගරු කිරීම් වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ය. සුවඳ, සුවඳ දුම්, පහන්, කොඩි, පැන්, ගිලන්පස, දැහැත්, ආහාර, අටපිරිකර ආදී තවත් නොයෙක් දේ ද සැදැහැවත්හු පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පින්කම් කොට ඒවායින් නානා ප්‍රකාර ඵල ලැබු අය ගේ ප්‍රවෘත්ති දක්වා ඇති, අපදාන විමානවත්ථු ආදී බෞද්ධ ග්‍රන්ථවල එන කථා අතර ද දක්නට ඇත්තේ පිරිනිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ්, මහබෝවලට මල්, පහන්, සුවඳ, කොඩි, ගී, නැටුම් වැයුම් පුද කළ අයගේ කථා පමණකි. දැහැත්, ගිලන්පස, ආහාර හා චීවරාදී පරිෂ්කාර ආදී පූජා කළ අය පිළිබඳ කතා ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්රුකක් පූජා කළ කතාවක් අපදානයෙහි දක්නා ලැබේ. දැනුදු ඇතැමුන් චෛත්‍යයනට කප්රුක් පුදන්නේ ඒ කථාව අනුව යයි සිතමි. ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්ත්‍ර පූජා කිරීම පිළිබඳ කථා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳව ය. පූජා කළ අය පිළිබඳ කථා නැති පමණින් අජීවමාන බුදුවරුන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පිදීම නිෂඵලය යි නො ගත යුතු ය.