“අරියං වො භික්ඛවෙ, අට්ඨංගිකං මග්ගං දෙසිස්සාමි, විභජිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමිති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච. කතමො ච භික්ඛවෙ, අරියො අට්ඨංගිකො මග්ගො? සෙය්‍යථිදං.
සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මආජීවො සම්මාවායාමො සම්මාසති සම්මා සමාධි.
මේ සංයුත්තනිකායේ මග්ගසංයුත්තයේ ප්‍රථම වර්ගයේ අටවැනි සූත්‍රය වූ මග්ගවිභංග සූත්‍රයේ කොටසෙකි. මෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මේ සූත්‍රයට අනුව විස්තර කරනු ලැබේ. ඉහත දැක්වුණු සූත්‍ර පාඨයේ තේරුම මෙසේ ය.
“මහණෙනි, තොපට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දේශනය කරන්නෙමි. විභාග කරන්නෙමි. මනා කොට අසව්. මනා කොට මෙනෙහි කරව්. දේශනය කරන්නෙමි.” “එසේ ය, ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කවරේද? ඔවුහු කවරහු ද?
සම්මාදිට්ඨියය, සම්මාසංකප්පයය, සම්මාවාචාවය, සම්මාකම්මන්තයය, සම්මාආජීවයය, සම්මාවායාමයය, සම්මාසතියය, සම්මාසමාධියය යන මොහුය.”
සම්මාදිට්ඨි ආදි මේ ධර්ම අට නිවනට පැමිණීමේ නිවන් ලැබීමේ ප්‍රතිපත්තිය ය. එබැවින් එයට “දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා” ය යි කියනු ලැබේ. ඒ ප්‍රතිපත්තිය නිවන ලබා ගැනීමේ උපාය ය. ලෝකයෙහි මිනිසුන් ගමන් කරන්නා වූ මාර්ග ඒ ඒ තැනට පැමිණීමට උපකාර වන්නාක් මෙන් මේ ප්‍රතිපත්තිය නිවන් ලැබීමට නිවනට පැමිණීමට උපකාර වන බැවින් එයට (මග්ග) මාර්ගය යි කියනු ලැබේ. මෙහි මග්ග යන්නෙහි තේරුම ප්‍රතිපදාවය - උපායය යනු යි. ඒ ප්‍රතිපදාවෙහි ධර්ම අටක් හෙවත් අංග අටක් ඇති බැවින් එයට (අට්ඨංගික මග්ග) අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. අංග අටක් ඇත්තා වූ ඒ මාර්ගයෙන් කෙලෙස් දුරු කරනු ලැබේ. පුද්ගලයා ආර්‍ය්‍ය භාවයට පමුණුවනු ලැබේ. පුද්ගලයාට ආර්‍ය්‍ය ඵලය ලබා දෙනු ලැබේ. එ බැවින් ඒ මාර්ගයට (අරිය අට්ඨංගික මග්ග) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මෙයට තේරුම් තුනක් කිය හැකි ය. “කෙලෙසුන් කෙරෙන් දුරු වූ අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තියය” යනු එයින් පළමු වැන්න ය. “ඒ ප්‍රතිපත්තිය පුරන පුද්ගලයා ආර්‍ය්‍යභාවයට පමුණුවන අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තිය” යනු දෙවැන්න ය. “පිළිපදින්නා වූ පුද්ගලයාට, ආර්‍ය්‍යඵලයක් ලබා දෙන අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තිය” යනු තුන්වැන්න ය.
“කතමො ච පුග්ගලො අරියො? අට්ඨාරිය පුග්ගලා අරියා, අවසෙසා පුග්ගලා අනියා” යි පුද්ගලපඤ්ඤත්ති පකරණයෙහි දැක්වුණු පරිදි සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්හි පිහිටි පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ ය. සෙස්සෝ අනාර්‍ය්‍යයෝ ය. අනාර්‍ය්‍යයෝ පෘථග්ජනයෝ ය. මේ මාර්ගයෙන් අනාර්‍ය්‍යයෝ ආර්‍ය්‍ය භාවයට පැමිණෙති.
මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය බෝධිපාක්ෂික ධර්ම පන්තියෙන් ප්‍රධාන ධර්ම අට ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන කල්හි එයට අනුව සතිපට්ඨානාදි බෝධිපාක්ෂික ධර්මයෝ ද වැඩෙති. එ හෙයින් :-
“සෙය්‍යථාපි භික්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන්ති, පුරත්ථිමා’ පි වාතා වායන්ති, පච්ඡිමා’ පි වාතා වායන්ති, උත්තරා’පි වාතා වායන්ති, දක්ඛිණා’පි වාතා වායන්ති, සරජා’පි වාතා වායන්ති, අරජා’ පි වාතා වායන්ති, සීතා’ පා වාතා වායන්ති, උණ්හා’ පි වාතා වායන්ති, පරිත්තා’ පි වාතා වායන්ති, අධිමත්තා‘පි වාතා වායන්ති, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨංගිකං මග්ගං භාවයතො අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරොතො චත්තාරො’ පි සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, චත්තාරො’පි සම්මප්පධානා භාවනා පරිපූරිං ගච්ඡන්ති, චත්තාරො’ පි ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, පඤ්ච’ පි ඉන්ද්‍රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්ච’පි බලානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති, සත්ත’පි බොජ්ඣංගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.” යනු වදාළ සේක.
(මග්ග සංයුත්ත)