සෝවාන් මාර්ගය ඇති වූ කල්හි එහි ආනුභාවයෙන් සත්කායදෘෂ්ටිය ද, දෙ සැට වැදෑරුම් මිථ්‍යා දෘෂ්ටිය ද සොළොස් වැදෑරුම් විචිකිත්සාව[1] ද ප්‍රහාණය වේ. දෘෂ්ටි විචිකිත්සා ප්‍රහාණය වන කල්හි ඒවා හා එක්ව උපදනා වූ දෘෂ්ටිසම්ප්‍රයුක්ත සිත් සතරෙහි ද විචිකිත්සා සහගත සිතෙහි ද ඒ සිත් පස හා සම්ප්‍රයුක්ත සකල චෛතසිකයන්ගේ ද ප්‍රහාණය සිදුවේ. දෘෂ්ටි විප්‍රයුත්ත අකුසල් සිත් සතර ය. ද්වේෂමූල සිත් දෙකය යන මොවුහු ද තුනී කිරීම් වශයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේත. තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යනු ඒ අකුශල ධර්මවල අපායෙහි ඉපදීමට හේතු වන තරමට ඖදාරික පරිදි ඇති වන කොටස ප්‍රහාණය කිරීම ය.
දෘෂ්ටි විචිකිත්සාවන්ගෙන් අන්‍ය ක්ලේශයන් සෝවාන් පුද්ගලයාගේ සන්තානයෙහි ඇති වෙනත් පෘථග්ජන සන්තානයන්හි මෙන් නිතර ඇති නො වේ. කලාතුරකින් ම ඇති වේ. කලාතුරකින් ඇති වීමෙහි ද පෘථග්ජන සන්තානයන්හි මෙන් රෞද්‍ර ව ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ රාගය ඇති වුව ද පරස්ත්‍රීන් සේවනාදි නොමනා වැඩ නොකරති. ලෝභය ඇති වුව ද සොරකම් කිරීම් ආදිය නොකරති. ද්වේශය ඇති වුව ද සතුන් මැරීම් මැරවීම් ආදිය නො කෙරෙති. තුනී කිරීම් වශයෙන් ප්‍රහාණය යි කියනුයේ කෙලෙසුන් ගේ ඒ ඖදාරික කොටස් ප්‍රහාණය කිරීම ය.
-
*විචිකිච්ඡාව අට වැදෑරුම්ය. මෙහි දක්වා ඇත්තේ මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය අනුව ය. විස්තර “කෙලෙස් එක්දාස්පන්සීය” රේරුකානේ නාහිමි ↑