“කතමා ච භික්ඛවෙ, සම්මා වාචා? යා ඛො භික්ඛවෙ මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී අයං වුච්චති භික්ඛවෙ, සම්මාවාචා
(මග්ග විභංග සුත්ත)
තේරුම :-
“මහණෙනි, සම්මාවාචාව කවරේද? මහණෙනි, යම් බොරු කීමෙන් වැළකීමක් වේ ද, කේලම් කීමෙන් වැළකීමක් වේ ද, ඵරුෂ වචනයෙන් වැළකීමක් වේ ද, සම්ඵප්‍රලාපයෙන් වැළකීමක් වේද, මහණෙනි, මෙය සම්මාවාචාය’ යි කියනු ලැබේ.” මෙයින් දැක්වෙන්නේ මෘෂාවාදාදි වාග්දුෂ්චරිත සතරින් වළක්නා ස්වභාවය සම්‍යග්වාචා මාර්ගාංගය බව ය. සම්‍යග්වාචා මාර්ගාංගය ධර්ම වශයෙන් එකක් වතුදු මෘෂාවාදාදි වළක්නා දුශ්චරිතයන් ගේ වශයෙන් මුසාවාදා විරතිය, පිසුණාවාචා විරතිය, ඵරුසාවාචා විරතිය, සම්ඵප්පලාපා විරතිය, යි විරති සතරක් වේ.
ලෞකික අවස්ථාවෙහි යෝගාවචරයා මෘෂාවාදයෙන් එක් සිතකින් වළකී. පිසුණාවාචයෙන් අන් සිතකින් වළකී. ඵරුෂා වාචයෙන් අන් සිතකින් වළකී. සම්ඵප්‍රලාපයෙන් අන් සිතකින් වළකී. එ බැවින් එක ම සම්‍යග්වාචා මාර්ගාංගය පූර්වභාගයේ දී වෙන් වෙන් වූ ධර්ම සතරක් වශයෙන් ඇති වේ. ලෝකෝත්තර මාර්ගචිත්තය උපදනා කල්හි එය ඉතිරි මාර්ගාංගයන් හා එක්ව දුශ්චරිත සතර ම එකවර ප්‍රහාණය කිරීම් වශයෙන් එක් මාර්ගාංගයක් වශයෙන් ලෝකෝත්තරත්වයෙන් පහළ වේ. (මෘෂාවාදාදීන් ගේ විස්තර බෞද්ධයාගේ අත්පොතෙන් දත හැකි ය.)