ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ වැදෑරුම් වේ. ලෞකික මාර්ගයෙහි මතු නූපදනා පරිදි කෙලෙස් දුරු කිරීමේ ශක්තියක් නැත. එයට ඇත්තේ තාවකාලික වශයෙන් කෙලෙස් දුරු කිරීමේ බලයක් පමණකි. එය දුබල ය. ලෝකෝත්තර මාර්ගය බලවත් ය. මහානුභාව සම්පන්න ය. වර්තමාන භවයේ දී පමණක් නොව මතු කිසි කලෙක අනාගත භවවලදීවත් නූපදනා සැටියට කෙලෙසුන් දුරු කිරීමේ ශක්තිය ලෝකෝත්තර මාර්ගයට ඇත්තේ ය. යම් කිසිවකු තමා සමාදන් වී සිටින ශීලයෙහි පිහිටා යම්කිසි කර්මස්ථානයක් උගෙන භාවනාවෙහි යෙදීම් වශයෙන් නො නවත්වා බෝධිපාක්ෂික ධර්ම වඩා ගෙන ගියහොත් වර්තමාන භවයේ දී හෝ අනාගත භවයක දී හෝ ඒ තැනැත්තාගේ සන්තානයෙහි සම්‍යග්දෘෂ්ට්‍යාදී මාර්ගාංග ධර්ම ක්‍රමයෙන් මෝරා ගොස් යම් කිසි දිනයක දී ලෝකෝත්තර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය පහළ වන්නේ ය. ආර්‍ය්‍යයන්ගේ සන්තානයෙහි සතර වරක දී පහළ වන ලෝකෝත්තර මාර්ගයට :-
- සෝතාපත්ති මග්ග
- සකදාගාමි මග්ග
- අනාගාමි මග්ග
- අරහත් මග්ග
යන නම් කියනු ලැබේ. යෝගාවචරයකුගේ සන්තානයෙහි ප්‍රථම වරට උපදනා ලෝකෝත්තර මාර්ගය, සෝතාපත්ති මග්ගය හෙවත් සෝවාන් මාර්ගය ය. හිමාලය ආදී උස් තැන්වල සිට සාගරය බලා ගලා යන්නා වූ ගංගා නදියෙහි ජලධාරාවෝ සෝත (ශ්‍රෝතස්) නම් වෙති. සාගරය බලා ම ගලා යනු මිස නැවත ආපසු හැරී සිටි තැන බලා ගලන ස්වභාවයක් ඒවායේ නැත. සෝතාපත්තිමග්ග නම් වූ ප්‍රථම ආර්‍ය්‍ය මාර්ගය ද ඇති වූ තැන් පටන් අනුපාදිශේෂ නිර්වාණධාතුව දක්වා නිවනයට අභිමුඛව ගලා යනු මිස නැවත කිසි කලෙක ආපසු නො හැරෙන්නේ ය, නො නවතින්නේ ය.
එහි ආපසු නො හැරීමය යනු සෝවාන් මාර්ගයෙන් ප්‍රහාරණය කළ කෙලෙසුන් ඒ සන්තානයෙහි නැවත ඇති වී පුද්ගලයා ආර්‍ය්‍ය භාවයෙන් පිරිහී නැවත පෘථග්ජන භාවයට නො පැමිණීමත්, ඒ මාර්ගයාගේ ආනුභාවයෙන් නිරුද්ධ වූ අනාගත භවෝත්පත්තිය නැවත කිසි කලෙක නො සිදුවීමත් ය. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව දක්වා ගලා යාම ය යන සෝවාන් මාර්ගය උපදවා ගත් ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ සන්තානයෙහි ශ්‍රද්ධාදි වූ ද, සම්‍යග්දෘෂ්ට්‍යාදි වූ ද ධර්මයන් ඒ මාර්ගයේ ආනුභාවයෙන් අනුක්‍රමයෙන් මෝරා ගොස් නො වරදවා ම ඒ පුද්ගලයා අර්හත්වයට පැමිණ නිවන් දක්නා බව ය. මෙසේ මේ ලෝකෝත්තරමාර්ගය ගංගාදියේ ජලශ්‍රෝතසුන් මෙන් නිර්වාණ නමැති මහා සාගරය දක්වා නො නැවතී ගලා යන බැවින් ඒ මාර්ගයට ද සෝතය යි කියනු ලැබේ. එබැවින් මග්ගසංයුත්තයෙහි :-
“අයමෙව හි සාරිපුත්ත, අරියො අට්ඨංගිකො මග්ගො සොතො, සෙය්‍යථිදං? සම්මාදිට්ඨි සම්මා සංකප්පො සම්මා වාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.”
යනු වදාළ සේක. ශාරිපුත්‍රය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම ශ්‍රෝතසක් ය. එය කවරේ ද? සම්මාදිට්ඨිය ය, සම්මාසංකප්පය, සම්මාවාචාවය, සම්මාකම්මන්තය ය, සම්මා ආජීවය ය, සම්මා වායාමය ය, සම්මාසතිය ය, සම්මාසමාධිය ය යන මොවුහු ය” යනු එහි තේරුමයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නිවන කරා ම නො නැවතී ගලා යන බව :-
“සෙය්‍යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො. සෙය්‍යථිදං? ගංගා යමුනා අචිරවති සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ! භික්ඛු අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තො නිබ්බානනින්නො නිබ්බානපොණො නිබ්බානපබ්භාරො”
යනුවෙන් ප්‍රකාශිත ය. ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන මේ මහා ගංගාවන් සාගරයට නැමී සාගරයට ඇල වී සාගරයට බර වී පවතින්නාක් මෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන මහණා ද නිවනට නැමී නිවනට ඇල වී නිවනට බර වී සිටීය” යනු එහි අදහස යි. ලෝකෝත්තර මාර්ගයෙන් ප්‍රහාණය කරන කෙලෙසුන් නැවත නූපදනා බව :-
“සෙය්‍යථාපි භික්ඛවෙ, ඝටො නික්කුජ්ජො වමතෙව උදකං නො පච්චාවමති, එවමෙව ඛො භික්ඛවෙ අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තො බහුලීකරොන්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, නො පච්චාවමති”
යනුවෙන් ප්‍රකාශිත ය. මහණෙනි යම් සේ මුණින් නැමූ කළය වතුර වමාරා ද වතුර ඇතුළට උරා නො ගනී ද එමෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන තැනැත්තේ, බොහෝ කොට වඩන තැනැත්තේ ලාමක වූ අකුශල ධර්මයන් වමාරා ම ය. නැවත ඇතුළට ගැනීමක් නො කරන්නේ ම ය” යනු එහි තේරුම යි.
ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පළමු පැමිණීම සෝතාපත්ති නම් වේ. ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පළමු වරට පැමිණීමෙන් ලබන මාර්ගය සෝතාපත්ති මග්ග නමි. ඒ ශ්‍රෝතසට පැමිණි නැතහොත් ස්වසන්තානයෙහි උපදවා ගත් - ලබා ගත් පුද්ගලයා සෝතාපන්න (සෝවාන්) නම් වේ. පෘථග්ජනයෝ වනාහි ලෞකික මාර්ගාංගයන්ගේ බලයෙන් වරක් ප්‍රහාණය කළ ක්ලේශයන් නැවත ඇති කර ගැනීම් වශයෙන් ද වරක් හළ පාපයන් නැවත කිරීම් වශයෙන් ද ආපසු එති. එබැවින් වරෙක සිල්වත්ව සිටි පෘථග්ජනයෝ නැවත දුශ්ශිල වෙති. වරෙක සමාධිය ලබා සිටි පෘථග්ජනයෝ වරෙක වික්ෂිප්ත සිත් ඇත්තෝ වෙති. පිස්සෝ ද වෙති. සම්‍යග්දෘෂ්ටික ව සිට මිථ්‍යාදෘෂ්ටික වෙති. නුවණැති ව සිට මෝඩ වෙති. ධ්‍යාන ලබා භවාග්‍රයට පැමිණ සිට නැවත දෙව්ලොවට ද මිනිස් ලොවට ද ආපසු එති. තිරිසන් බවට ප්‍රේත බවට නරකට පැමිණීම් වශයෙන් ආපසු එති.
ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයෝ ඒ ඒ මාර්ගයෙන් ප්‍රහාණය කළ ක්ලේශයන් භවාන්තරයෙහි ද නූපදනා බැවින් ඔහු නැවත දුශ්ශිල නො වෙති. වික්ෂිප්ත නො වෙති. මිසදිටු නො වෙති. අපායට නො යති. එය ඔවුන්ගේ ආපසු නො යාම ය. ආර්‍ය්‍යයන්ට ශ්‍රද්ධාදි ධර්මයෝ ක්‍රමයෙන් වැඩෙති. එබැවින් පිළිවෙළින් මතු මතු මාර්ගඵල වලට ද පැමිණ නිවන් දකිති. භවයෙහි සැරිසරන ආර්‍ය්‍ය පුද්ගලයා ද දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ඉහළට ම ගොස් අන්තිමේ දී නිවන් පුරට පිවිසෙති. එය ලෝකෝත්තර මාර්ගයා ගේ ආනුභාවය ය.