අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දුක්ඛාර්‍ය්‍ය සත්‍යය

දුක්ඛය වනාහි නොයෙක් ප්‍රකාර ඇත්තේය. එනම්:-

  1. දුක්ඛ දුක්ඛය
  2. විපරිණාම දුක්ඛය
  3. සංස්කාර දුක්ඛය
  4. ප්‍රතිච්ඡන්න දුක්ඛය
  5. අප්‍රතිච්ඡන්න දුක්ඛය
  6. පර්‍ය්‍යාය දුක්ඛය
  7. නිෂ්පර්‍ය්‍යාය දුක්ඛය
  8. දුක්ඛ දුක්ඛය - කායික චෛතසික වූ දුක්ඛ වෙදනාවෝ, ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද, දුක වන බැවින් දුක්ඛ දුක්ඛ යයි කියනු ලැබේ.
  9. විපරිණාම දුක්ඛය - කායවස්තුක වූ ද, අන්‍ය වූ ද, සුඛ වෙදනාවෝ, ස්වභාවයෙන් දුක් නොවෙතත්, පෙරළීමෙන් දුක් ඉපදීමට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ.
  10. සංස්කාර දුක්ඛය - උපෙක්‍ෂා වෙදනාව ද, මෙහි නොකී අනිකුදු ත්‍රෛභූමික සංස්කාරයෝ ද උදයව්‍යය සඞ්ඛ්‍යාත උත්පාද භඞ්ගත්‍වය විසින් පෙළන ලද බැවින් සංස්කාර දුක්ඛය නම් වේ.
  11. ප්‍රතිච්ඡන්නක දුක්ඛය හෙවත් අප්‍රකට දුක්ඛය - කන් කැක්කුම, දත් කැක්කුම, රාගයෙන් වූ සිත් තැවිල්ලය ද්වේෂයෙන් වූ සිත් තැවිල්ලය යනාදී වූ කායික වූ ද, චෛතසික වූ ද ආබාධය, අසා ම දැනගත යුතු බැවින් ද, ඊට හේතුව අප්‍රකට බැවින් ද, ප්‍රතිච්ඡන්න දුක්ඛය නම් වේ.

5. අප්‍රතිච්ඡන්න දුක්ඛය හෙවත් ප්‍රකට දුක්ඛය - දෙතිස් කම්කටුලු ආදියෙන් හටගන්නා වූ පීඩාව, නොඅසාම දතහැකි බැවින්ද, ඒ දුකට හේතුව ප්‍රකට බැවින්ද, අප්‍රතිච්ඡන්න දුක්ඛය නම් වේ.

6. පර්‍ය්‍යාය දුක්ඛය - දුක්ඛ දුක්ඛය හැර ඉතිරිවූ ජාත්‍යාදීවූ සියළුම දුක් සමූහය, ඒ ඒ දුකට කරුණු වන බැවින් පර්‍ය්‍යාය දුක්ඛ නම් වේ.

7. නිෂ්පර්‍ය්‍යාය දුක්ඛය - දුක්ඛ දුක්ඛය පමණක් නිෂ්පර්‍ය්‍යාය දුක්ඛය නම් වේ. මෙසේ සියළුම දුක්, පර්‍ය්‍යාය දුක්ඛ, නිෂ්පර්‍ය්‍යාය දුක්ඛ යන දෙකෙහි ඇතුළත් වේ.

අභිධර්‍ම දේශනායෙහි දුක්ඛාර්‍ය්‍යසත්‍යය දක්වන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දොළොස් පදයකින් දුක්ඛසත්‍යය වදාරා තිබේ. ඒ දොළොස නම්:-

  1. ජාති දුක්ඛය
  2. ජරා දුක්ඛය
  3. මරණ දුක්ඛය
  4. සෝක දුක්ඛය
  5. පරිදේව දුක්ඛය
  6. දුක්ඛ දුක්ඛය
  7. දොමනස්ස දුක්ඛය
  8. උපායාස දුක්ඛය
  9. අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය
  10. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය
  11. කැමති දෙය නොලැබීම් සඞ්ඛ්‍යාත දුක්ඛය
  12. සැකෙවින් පඤ්චුපාදානස්කන්‍ධ දුක්ඛය

සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පද අටෙකින් දක්වා ඇත. එනම්:- ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක, අප්‍රියසම්ප්‍රයෝග දුක, ප්‍රිය විප්‍රයෝග දුක, පැතූ ද නොලැබීමේ දුක, පඤ්චු- පාදානස්කන්‍ධ දුක යනුයි. මෙහි ව්‍යාධි දුක්ඛය යන්නෙන් කායිකවූ ද මානසික වූ ද ආබාධයෝ දක්වන ලදි. මනුෂ්‍ය ලෝකයෙහි ව්‍යාධිය ප්‍රකට බැවින්ද සෝක, පරීදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් එහි ඇතුළත් වන බැවින්ද මෙසේ ව්‍යාධි දුක්ඛය දක්වා වදාරා තිබෙන බව දතයුතු දෙවියන් කෙරෙහි ව්‍යාධිය අප්‍රකට බැවින් ව්‍යාධිය අත්හැර සෝක, පරීදේව, දුක්, දෝම්නස්, උපායාසයන් දක්වන ලදි.