අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජරාවගේ දුක්ඛාර්ථය

ජරාවම දුක් නොවෙතත්, කායික දුක්ඛයන්ගේද දෝමනස්ස දුක්ඛයන්ගේද හේතුව වන හෙයින් හෙවත් දුකට කරුණු වන හෙයින් දුක් නම් වන්නීයයි වදාරණ ලදී.

ජරාවට පැමිණි සත්ත්‍වයාගේ ආත්මභාවය දිරාපත් වූ ගැළක් මෙන් දුර්වල වූයේ වේ. සිටීමට හෝ ගමන් කිරීමට හෝ හිඳිනට වෑයම් කරන්නා හට බලවත්වූ කායික දුක්ඛයක් උපදී. දූ දරුවෝද, පෙර පරිද්දෙන් ගරු කිරීම් උවටැන් කිරීම් ආදියෙන් නොසලකන කල්හි දෝම්නස උපදී. මෙසේ කායික මානසික වශයෙන් දෙපරිද්දෙකින්ම දුක්ඛයන් ගේ ඉපදීමට කරුණුවන හෙයින් ජරාව දුක යයි දතයුතු.

අත්පා ආදී අවයවයන්ගේ දුර්වල භාවයෙන්ද චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ වෙනස්වීම් වන බැවින්ද, යෞවන භාවයාගේ විනාශය වන හෙයින්ද, ශක්තිය පිරිහෙණ හෙයින්ද ස්මෘති, ශ්‍රැත, වීර්‍ය්‍ය, ප්‍රඥාදී වූ ගුණයන්ගේ වියෝග භාවයෙන්ද, ඇතැම් කලෙක තම දූ දරුවන් විසින් අව මන් කරනු ලබන හෙයින්ද බෙහෙවින් බාල දාරක භාවයට පැමිණීම වන හෙයින්ද සත්ත්‍ව තෙමේ යම් දුක්ඛයකටද, මානසික වූ දෝම්නසටද පැමිණේද, ඒ සියළුම දුක ජරාව කරුණු කොට ඇති හෙයින් ජරාව දුක් වන්නී යයි වදාරන ලදී.