දොමනස්ස දුක්ඛය
දුක්වූ, අමධුරවූ යම් චෛතසික දුකක් වේද, දුක්වූ, අමධුරවූ විඳියයුතුවූ සිත හා ස්පර්ශයක් වේද, සිත හා ස්පර්ශවූ අමධුරවූ දුක්වූ වේදනාව දොමනස්ස යයි කියනු ලැබේ.
මේ දුක් දොම්නස් දෙදෙනාගේ සමූහයද, තුමූත් දුක් වන බැවින්ද, කායික චෛතසික දුක්ඛයන්ටත් හේතු වන බැවින්ද දුක යයි වදාරන ලදී.
අත් පා කන් නාසාදිය සිඳීමෙන් උපන් දුක කරණකොට ගෙන දුක්පත්වූ අසරණ ජනයා වසන අම්බලමෙක වැදහොත් පුද්ගලයාහට වණ මුව සිදුරුවලින් පණුවන් නික්මෙන කල්හි බලවත්වූ කායික දුක්ඛය උපදී. නොයෙක් වස්ත්‍රාභරණාදියෙන් සැරසී නැකත් කෙළි කෙළනාවූ මහාජනයා දැක බලවත්වූ දොම්නස උපදී. මෙසේ දුක් දොම්නස් දෙදෙන නොයෙක් කායික චෛතසික දුක්ඛයන්ට හේතුවන බව දතයුතු.
කායික දුක්ඛයෙන් මඩනාලද පුද්ගලයාහට පිළියම් කිරීම් වශයෙන් ප්‍රයෝග කරන කල්හි කායික දුක්ඛයට කායික දුක්ඛය උපනිශ්‍රය වන බව දතයුතු.
චෛතසික දුක්ඛයෙන් මඩනාලද පුද්ගලතෙම කෙස් විදහාගෙන පපුවට ගසාගනියි, පෙරළෙයි, ප්‍රපාතයෙහි හෙළූ ටැඹක් මෙන් ඈත මෑත පෙරළෙයි, මුල් සුන් රුකක් බර අතට ඇදවැටෙන්නාක් මෙන් ඇදවැටෙයි. ආයුධයෙන් පහරා ගනියි, විෂ කයි, බෙල්ලෙහි වැල ලා ගනියි. ගින්නට පනියි මෙසේ නොයෙක් ආකාරයෙන් කළකිරුණු සිත් ඇති පුද්ගලයෝ දවනු ලබන සිත් ඇති කල්හි විපරීත භාවයට පත්ව ඒ ඒ දේ සිතත්. මෙ පරිද්දෙන් දොම්නසද, කායික චෛතසික උභය දුක්ඛයන්ටම හේතු වන බව දතයුතු. දොම්නස සිතත් කයත් පෙළන හෙයින් දුක් නම් වන බව වදාරන ලදී.