අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජාති දුක්ඛය

ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව සමූහයෙහි යම් ඉපදීමක්, සංජාතියක්, බැසගැන්මක්, විශේෂ ඉපදීමක්, ස්කන්‍ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද මෙය ජාති යයි කියනු ලැබේ.

යම් සත්ත්‍වයෙකු පිළිබඳව යම් භවයෙක්හි පළමුව පටිසන්‍ධි විඤ්ඤාණයත් සහිතවූ පඤ්චස්කන්‍ධයන්ගේ පහළ වීමක් වේද, එය ඒ සත්ත්‍වයාගේ ජාතිය යයි ද, ඉපදීමයයි ද කියනු ලැබේ. මෙය සත්ත්‍වයන්ගේ සාමාන්‍ය ඉපදීම හෙවත් පිළිසිද ගැන්ම වේ සම්පූර්‍ණ ආයතනයන් ඇතිව, මොනවට ඉපදීමක් වේනම් එයට සංජාත යයි කියනු ලැබේ. මේ දෙයාකාරයෙන්ම අණ්ඩජාදි යොනි වශයෙන් සත්ත්‍වයන්ගේ ඉපදීම දක්වන ලදි.

අණ්ඩජ, ජලාබුජ වශයෙන් සත්ත්‍වයෝ අණ්ඩ කෝෂයෙහිද, වස්ති කෝෂයෙහිද පිළිසිදගැනීම් වශයෙන් බැස ගැනීමක්, ප්‍රවේශ වීමක් වේද එයට අවක්‍රාන්ති යයි කියනු ලැබේ.

සංසේදජ, ඕපපාතික වශයෙන් සත්ත්‍වයන්ගේ යම් ප්‍රකටවූ පහළවීමක් වේද, එයට අභිනිබ්බත්ති හෙවත් විශේෂ ඉපදීමකැයි කියනු ලැබේ.

මෙහි දක්වන ලද ජාති ආදිවූ ඉපදීම්, සම්මුති හෙවත් ව්‍යවහාර මාත්‍රයකි.

පරමාර්‍ත්‍ථ වශයෙන් වනාහි, ස්කන්‍ධයන්ගේ පළමු පහළ වීමම ජාති නම්. මේ ස්කන්‍ධයන්ගේ පහළවීම එකවොකාර, චතුවොකාර, පඤ්චවොකාර භවයන්ගේ වශයෙන් වෙනස් වේ. එකවොකාර භවයෙහි එකම රූපස්කන්‍ධයකින් ද, චතුවොකාර භවයෙහි සතර නාමස්කන්‍ධයකින් ද, පඤ්ච වොකාර භවයෙහි නාම රූප හෙවත් පඤ්චස්කන්‍ධයකින් ද පහළවීම හෙවත් ඉපදීම වන්නේය.

ආයතනයන්ගේ ප්‍රතිලාභය වනාහි එකවොකාර භවයෙහි හෙවත් අසංඥසත්ත්වයෙහි රූපායතන ධර්‍මායතන දෙදෙනාගේ වශයෙන් ද, චතුවොකාර භවයෙහි මනායතන ධර්‍මායතන දෙදෙනාගේ වශයෙන් ද, පඤ්චවොකාර රූප භවයෙහි උත්පත්තික්‍ෂණයෙහි චක්ඛු, සොත, මන, රූප, ධම්මායතන පස්දෙනාගේ වශයෙන් ද, පඤ්චවොකාර කාම ධාතුවෙහි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අපරිපූර්‍ණ, පරිපූර්‍ණ ආයතන ඇති සත්ත්වයන්ට විකල අවිකල ඉන්‍ද්‍රියයන්ගේ වශයෙන් ඒ ඒ ආයතනයන්ගේ ප්‍රතිලාභය ද වන බව දතයුතු.

ඒ ජාතිය වනාහි ඒ ඒ භවයෙහි පළමුව ඉපදුම් ලක්‍ෂණ කොට ඇත්තීය. පළමු උපන් ආත්ම භාවය ඵලවාදීමක් බඳු කෘත්‍යය ඇත්තීය. පෙර භවයෙන් මේ වත්මන් භවයෙහි ස්කන්‍ධ සන්තතියගේම මතුවීම වැටහීම කොට ඇත්තීය. නොහොත් ඵලයාගේ වශයෙන් දුක්ඛ රාශියගේ විචිත්‍රතාවය වැටහීම කොට ඇත්තීය.