අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කැමති දෑ නොලැබීමේ දුක්ඛය

පිළිසිඳ ගැනීම හෙවත් ජාතිය ස්වභාව කොට ඇති සත්ත්‍වයන්ට මෙසේ තෘෂ්ණාවක් උපදී. අපි ජාතිය හෙවත් උත්පත්තිය ස්වභාව කොට ඇත්තෝ නොවෙමු නම් ඉතා මැනව. ප්‍රහීණවූ සමුදය සත්‍යය සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඇති ආර්‍ය්‍ය පුද්ගලයන් විෂයෙහි විද්‍යමානවූ, නුපදානා බවකුත්, පිරිනිවන් පා වදාළාවූ පුද්ගලයන් විෂයෙහි විද්‍යමානවූ ජාතිය ගේ යම් නොපැමිණිමකුත් ප්‍රාර්ථනා කරද්දීත්, මාර්‍ග භාවනායෙන් තොරව නොපැමිණිය හැකි වන හෙයින්, ප්‍රාර්ථනා නොකරද්දීත් මාර්‍ග භාවනායෙන් පැමිණිය හැකිවන හෙයින් ප්‍රාර්ථනාවෙන් පැමිණිය යුත්තක් නොවේ. ඒ ඉච්ඡාව හෙවත් කැමති දෙය නොලැබීමද ඊප්සිතාලාභ දුක හෙවත් කැමති දෑ නොලැබීමේ දුක නම් වේ. නොලැබිය හැකි වූ වස්තුවක් ප්‍රාර්ථනා කරන්නාවූ පුද්ගල තෙම, ඒ වස්තුව නොලබාද ඒ නොලැබිය හැකි වස්තුන් පැතීම දුක යයි දතයුතු.

මෙපරිද්දෙන් ජරාව ස්වභාව කොට ඇති සත්ත්‍වවයන්ටද, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්ත්‍වයන්ටද, මරණය ස්වභාව කොට ඇති සත්ත්‍වයන්ටද, සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන් ස්වභාවකොට ඇති සත්ත්‍වවයන්ටද මෙසේ ආශාව උපදී. මේ ජරා, ව්‍යාධි, මරණ සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස ඇත්තෝ නොවමු නම් ඉතා මැනවි. අපට ජරා, ව්‍යාධි, මරණාදිය නොපැමිණෙන්නේ නම් ඉතා මැනවි. ප්‍රහීණවූ සමුදය සත්‍යය සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඇති ආර්‍ය්‍ය පුද්ගලයන් විෂයෙහි විද්‍යමානවූ අජරාමර සඞ්ඛ්‍යාත ධර්‍මයන් ප්‍රාර්ථනාවෙන් පැමිණිය යුත්තක් නොවන්නාහ. මාර්‍ග භාවනායෙන්ම පැමිණිය යුතුමය. මෙසේ ප්‍රාර්ථනායෙන් නොලද හැකි වස්තුන් ප්‍රාර්ථනා කිරීමත්, ප්‍රාර්ථනා කොට නොලැබීමත් ඊප්සිතාලාභ දුක්ඛය හෙවත් කැමති දෑ නොලැබීමේ දුක නම් වන්නේය.

මේ ඉච්ඡාව නොලද හැකි වස්තුන් පැතීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ නොලද හැකි වස්තුන් සෙවීම කෘත්‍යය කොට ඇත්තීය. ඒ නොලද හැකි වස්තුන් නොලැබීමම වැටහීම කොට ඇත්තීය.

තවද, මේ ඉච්ඡාව කායික චෛතසික දුක්ඛයන්ට හේතු වන බැවින්ද, දුක නම් වන්නීය.