අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පරිදේව දුක්ඛය

ඤාති ව්‍යසනයෙන් හෝ භෝග ව්‍යසනයෙන් හෝ රෝග ව්‍යසනයෙන් හෝ, සීල ව්‍යසනයෙන් හෝ දිට්ඨි ව්‍යසනයෙන් හෝ මැඩගෙන ගිය පුද්ගලයාගේ, මෙසේ නොයෙක් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින් යුත් පුද්ගලයාගේ, නොයෙක් දුක් ස්වභාවයන් අතුරෙන් එක්තරා දුක් ස්වභාවයකින් මඩනාලද පුද්ගලයාගේ යම් ආදේවයක් හෙවත් මගේ දුව, මගේ පුතා ආදී වශයෙන් කියකියා කඳුළු වගුරුවමින් හඬාද්ද, පරිදේවය හෙවත් ඒ ඒ ගුණ කියකියා උපකාරාදිය කියකියා විලාප ගසත්ද, ආදේවනා හෙවත් නම් කියා හැඬීම් ස්වභාවයක් පරිදේවනා හෙවත් ගුණ කියා හැඬීම් ස්වභාවයක්, ආදේවිතත්ත හෙවත් නම් කියා හඬන බවෙක් පරිදේවිතත්ත හෙවත් ගුණ කියා හඬන බවක්, වාචා පලාප හෙවත් බොල් වී ආදිය මෙන් හිස්වූ නිශ්ඵල වචන බිණීමක්, විප්පලාප හෙවත් තෙපුලෙන් අඩක් බිණීමය, අසම්පූර්‍ණ කොට බිණීමය යනාදීන්ගේ වශයෙන් අශෝභනවූ ඵල නැති බස් බිණීමය, ලාලප්ප හෙවත් නැවත නැවත තෙපලීමය, ලාලප්පනා හෙවත් නැවත නැවත තෙපලන ස්වභාවයක්, ලාලප්පිතත්ත හෙවත් නැවත නැවත තෙපලන බවක් වේද මෙය පරිදේව යයි කියනු ලැබේ.

මේ පරිදේවය, ලාලප්පන ලක්‍ෂණය හෙවත් නැවත නැවත තෙපලීම ලක්‍ෂණයකොට ඇත්තේය. ගුණ දොස් හඟවන කෘත්‍ය ඇත්තේය. නොනැවතී, නොපිහිටි බවක්ව වැටහෙන්නේය, හෙවත් ඥාති ව්‍යසනාදී ශෝක වස්තූන් නොනැසූ හෙයින් නොනැවතී නොපිහිටි බව වැටහීම කරවන්නේය.

පරිදේවයාගේ දුක්ඛාර්ථය - වැලපීමම දුක් නොවෙතත් කායික චෛතසික දුක්ඛයන්ගේ හෙවත් දුක් දොම්නස් දෙදෙනාගේ හේතුව වන බැවින් දුක් නම් වන්නේය. වලප්නා තැනැත්තේ තමාගේ කයට හෝ මිටින් තලයි, දෑතින් ලය පහරයි, හිස බිත්තියේ හපයි එයින් වලප්නා හට බලවත් කායික දුකක් උපදී. නෑයෝ මෙතෙක් දෙනා පිරිහින, විනාශයට ගියහ, භෝගයෝ මෙතෙක් පිරිහින, විනාශයට ගියහ යනාදි සිතිවිලි නිසා දොම්නස උපදී. ශෝක සඞ්ඛ්‍යාත හුලින් මඩනාලදුව වලප්නා වූ පුද්ගලයා බොටුවය, දෙතොලය, තල්ලය, යන තැන් වියලීමෙන් හටගත්තාවූ ඉවසිය නොහැක්කාවූ දුකට පැමිණේ. එයින් අධිකතර කායික චෛතසික දුක්ඛයට පැමිණෙන්නේය.