මරණ දුක්ඛය
ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙන් යම් චුතියක් චවනතා හෙවත් චුත වන බවක්, භේදයක් හෙවත් බිඳීමක්, අන්තර්ධානයක්, මෘත්‍යු මරණයක් හෙවත් මියයාමක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක් කලෙබරයාගේ හෙවත් ශරීරයාගේ බහා තැබීමක්, ජීවිතෙන්ද්රියයාගේ උපච්ඡේදයක් හෙවත් සිඳීමක් වේද මෙය මරණ යයි කියනු ලැබේ.
මෙහි චුති වචනතා, යන දෙපදයෙන් ප්රත්යක්ෂ ආත්ම භාවයෙන් චුතවන ස්වභාවයත්, මරණයාගේ ලක්ෂණයත් දැක් වේ. භේදය යන්නෙන් ස්කන්ධයන්ගේ භඞ්ගක්ෂණය ප්‍රකාශ වේ. බිඳුනු කලයාගේ පැවැත්මක් නැතිවන මෙන් ස්කන්ධයාගේ බිඳීමක් ඇති කල්හි පැවැත් මක් නැති බව දැක්වීමට අන්තර්ධාන යන පදය ප්‍රකාශ කරන ලදී. භවයෙන් මියයාම දැක්වීම සඳහා මෘත්‍යු මරණයයි කියන ලදී. කාල නම් ලද මරුවාගේ ක්‍රියාව දැක්වීම සඳහා කාලක්‍රියා යයි ද කියන ලදී. මේ කියන ලද පද සමූහයෙන් සම්මුති මරණය ප්‍රකාශ කරන ලදී.
පරමාර්ථ වශයෙන් වනාහි ස්කන්ධයන්ගේ බිඳීමම මරණ නම් වේ. මැරෙන්නාවූ සත්ත්වයෙක් හෝ පුද්ගල යෙක් නම් නැත. ස්කන්ධයන්ගේ බිඳීම ඇති කල්හි සත්ත්වතෙමේද මැරෙයි. මේ පදයෙන් චතුවොකාර පඤ්චවොකාර භවයන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීම ප්‍රකාශ වේ. කලෙබරයාගේ බහා තැබීම යන පදයෙන් එකවොකාර භවයාගේ වශයෙන් ආත්මභාවය බහා තැබීම හෙවත් මරණය ප්‍රකාශ වේ.
චාතුර්මහාරාජිකාදී වූ භූමින්හි පහළවන සත්ත්යන්ගේ ප්රතිසන්ධිය ඕපපාතික බැවින් චුතවීම් හා සමඟම මළ සිරුරුද අන්තර්ධාන වන්නාහ. නිරය භූමින්හිද එමෙනි. තිරිසන් භූමින්හි සංසේදජ, ජලාබුජ ප්රතිසන්ධිය ගන්නා හෙයින් චුතවන සත්ත්වයෝ මළසිරුර බහා තබා චුත වන්නාහ. මිනිස් භූමින්හිද මළසිරුර බහා තැබීම කරන හෙයින් මරණය කලෙබරයාගේ නික්ෂේපය හෙවත් බහා තැබීම යයි වදාරන ලදී.
තවද මේ මරණය යන වචනය ඉන්ද්රියබද්ධ වූ හෙවත් ඉන්ද්රියයන් පිළිබඳව පැවති සත්ත්වයන්ගේ නැතිවීම දැක් වීමට ව්‍යවහාර වන වචනයකි. අනින්‍ද්‍රියබද්ධ සන්තානයෙක්හි මෙබඳු වූ මරණයක් නම් නැත. අනින්‍ද්‍රියබද්ධ වස්තුන්ගේ විනාශයෙහිද මේ වචනය යෙදීම ව්‍යවහාර මාත්‍රයක් පමණය. ශස්‍ය තෙම මළේය, වෘක්ෂය තෙම මළේය යන කීම ඒ ශස්යාදීන්ගේ ක්ෂය වැය ලක්ෂණය දැක්වීම සඳහා ව්‍යවහාර මාත්‍රයකි. ජීවිතෙන්ද්රියයාගේ උච්ඡේදය යයි කියන ලද්දේ ඒ හෙයිනි.
මේ මරණය-
- ක්ෂණික මරණය
- සම්මුති මරණය
- සමුච්ඡේද මරණය යයි ත්‍රිවිධ වේ.
ප්‍රවෘත්තික්‍ෂණයෙහි වූ නාම රූප ධර්මයන්ගේ යම් බිඳීමක් වේද එය ක්ෂණික මරණය නම් වේ.
ස්කන්ධ පරම්පරාවගේ මුල් සිඳීමක් නොවන බැවින් අසුවල් අසුවල් නම් ඇති සත්ත්වයා මළේයයි කීම සම්මුතියක් වන බැවින් එය සම්මුති මරණ නම් වේ.
රහතන් වහන්සේගේ පුනර්භව ප්‍රතිසන්ධියක් නැති හෙයින් ඒ භවයාගේ අවශානය වූ මරණය හෙවත් අනුපාදිශේෂ පරිනිර්වාණයට ආසන්න කාරණා වූ මරණය සමුච්ඡේද නම් වේ. එය ස්කන්ධ පරම්පරාවගේ සමුච්ඡේද යද වේ.
මේ ත්‍රිවිධ මරණයෙන් අතුරෙන් සම්මුති මරණයම මෙහිදී දුක්ඛ සත්‍යය වන බව අදහස් කරන ලදී.
තවද, ඒ සම්මුති මරණය
- ජාතික්ඛය මරණය - හෙවත් ජීවිතෙන්ද්රිය උපච්ඡේදයෙන් වන මරණය,
- උපක්කම මරණය - හෙවත් උපක්‍රමයෙන් වන මරණය,
- සරස මරණය - හෙවත් තමාගේ ස්වභාවයෙන් වන මරණය,
- අයුක්ඛය මරණය - හෙවත් ආයු ක්ෂය වීමෙන් වන මරණය,
- පුඤ්ඤක්ඛය මරණය - හෙවත් පුණ්‍ය ක්ෂය වීමෙන් වන මරණය යයි පඤ්චවිධ වේ.
එක් කර්මයකින් උපන් ජිවිතෙන්ද්රිය පරම්පරාව සිඳ පියන බැවින් සම්මුති මරණයම, ජාතික්ෂය මරණය නම් වේ.
මේ ජාතික්ෂය මරණයද, උපක්‍රම මරණය, සරස මරණය යයි ත්‍රිවිධ වේ.
සරස මරණයද, අයුක්ඛය මරණය, පුණ්යක්ෂය මරණය යයි දෙවැදෑරුම් වේ.
මෙයින් උපක්‍රම මරණයට, අකාල මරණය යයිද සරස මරණයට, කාල මරණ යයිද කියනු ලැබේ.
මරණය වනාහි චුතවීම් ලක්ෂණය ඇත්තේය, හෙවත් ප්රත්යක්ෂ ආත්මභාවයෙන් ගිලිහීම් ස්වභාවය ඇත්තේය. වියෝග රසය හෙවත් සම්ප්‍රාප්ත භවයෙහි ස්කන්ධයන් කෙරෙන් වෙන්වීම් කෘත්‍යය ඇත්තේය. විප්‍රවාසය හෙවත් පූර්ව භවයෙන් හෝ පූර්ව භවය හා වෙන්ව විසීම වැටහීම් කොට ඇත්තේය.
මරණයාගේ දුක්ඛාර්ථය - මේ මරණය තෙමේම දුක් නොවෙතත් දුකට හේතු වන බැවින් දුකයයි වදාළ සේක. මරණය ආසන්න වූ කල්හි, ශරීරයෙහි උපන්නා වූ වෙදනාවෝ, සුළඟින් වැඩියක් ඇවිළිගත් තණ පඳුරක් මෙන් හාත්පසින් දවත්, නරක නිමිති ආදීන් වැටහෙන කල්හි බලවත් දොම්නසක් උපදනේයි, මෙසේ මේ කායික වෛතසික උභය දුක්ඛයන්ටම කරුණු වන බැවින් දුකයයි දතයුතු.
පාපකර්ම, පාපකර්ම නිමිත්ත, පාප ගති නිමිත්ත යයි කියන ලද අලම්බනය අරමුණු කරන්නාවූ, ලාමක පාපකර්ම ඇත්තාවූ, මරණය ලංවූ සත්ත්වයා හටද, ප්‍රිය කටයුතු වස්තු වූ පුත්‍ර කලත්රාදීත් කෙරෙන් වෙන්වීම නො ඉවසන්නාවූ, කල්‍යාණ කර්ම ඇත්තාවූ මරණය ලංවූ සත්ත්වයාහටද මානසිකවූ යම් දුකක් වේද, සාමාන්‍ය වශයෙන් පෙළෙනු ලබන මර්මස්ථාන ඇති සියළු සත්ත්වයන්හටත් අත් පා සන්ධි බන්ධන, සන්ධි සිඳීම් ආදියෙන් උපන්නාවූ, කායිකවූ පිළියම් කළ නොහැක්කාවූ යම් දුකක් වේද, ඒ දුක්ඛ සමුහයාගේ, යම් හෙයකින් මේ මරණය තෙම හේතුව වූයේද, එහෙයින් මේ මරණය තෙම දුකැයි වදාළ සේක.
ජාති, ජරා, මරණයෝ, මේ සත්ත්වයන් හට වධකයන් මෙන් අවකාශයක් සොයන්නෝව හැසිරෙත්
යම්සේ පුරුෂයකුගේ පසමිතුරන් තුන් දෙනෙකුන් අවකාශයක් සොයමින් හැසිරෙන කල්හි, එක් පසමිතුරෙක් මම අසුවල් අරණ්යයාගේ ගුණ කියා මේ පුරුෂයා ගෙන එහි යන්නෙමි, එම කටයුත්ත මට දුෂ්කර නැතැයි කියන්නේය. දෙවෙනි පසමිතුරාද, නුඹ ඒ පුරුෂයා අරණ්‍යයට ගෙන ආ කල්හි ඔහු තලා දුබල වූවෙකු කරන්නෙමි. එසේ තලා දුබල කිරීම මට දුෂ්කර කාරණයක් නොවේ යයි කියන්නේය. තුන්වන පසමිතුරාද තවිසින් ඒ පුරුෂයා තලා දුබල කළ කල්හි තියුණු මුවහත්වූ කඩුවෙකින් ඔහුගේ හිස සිඳින්නෙමි. එය මට දුෂ්කර කාරණයක් නොවේ යයි කියන්නේය. ඒ පසමිතුරෝ තුන්දෙනම ඒ කී පරිද්දෙන්ම කරන්නාහුය. ඒ උපමාවෙහි ඒ පසමිතුරන් අතුරෙහි පළමුවූ පස මිතුරාගේ වන වරුණ තෙපලා ඒ පුරුෂයා ගෙන ඒ වනයට පැමිණි කළ මෙන් ඤාති මිත්‍ර සමුහයා කෙරෙන් බැහැර කොට යම් කිසි තැනෙක්හි ඉපදවීම නම් ජාතියගේ කෘත්යවේ. දෙවෙනි පසමිතුරාගේ තලා දුබල බව කිරීම මෙන් හටගත් ස්කන්ධයන් කෙරෙහි හෙව පරාධීන හෙවත් අනුත් අයත් පැවතුම් ඇති බව කිරීමය, මඤ්ච පරායනය හෙවත් ඇඳ පිහිට කොට ඇති බව කිරීමය, යන මෙය ජරාවගේ කෘත්‍යයෝ වෙත්. තුන්වනුවූ පසම්තුරාගේ තියුණු මුවහත් කඩුවෙන් හිස සිඳිම මෙන් ජීවිතෙන්ද්රියෝපච්ඡේදයට පැමිණවීම මරණයාගේ කෘත්‍යය වේ.
තවද, ජාති දුක හෙවත් ජාති හේතුවෙන් වන දුක මහා කාන්තාරයකට පිවිසීමක් මෙන් දතයුතු ජරා දුක හෙවත් ජරා හේතුවෙන් වන දුක, ඒ දොස් සහිතවූ මහා කාන්තාරයෙහි බත් පැන් නැතිව දුබලවූ පුරුෂයා මෙන් දතයුතු මරණ දුක හෙවත් මරණ හේතුවෙන්වන දුක, ඉරියව් පැවැත්වීමෙහි ශක්තිය නැතිව දුබලවූ පුරුෂයාගේ චණ්ඩ මෘගාදීන් විසින් අනයව්‍යසනයට පැමිණවීම මෙන් හෙවත් අවෘද්ධියටත් විනාශයටත් පැමිණවීම මෙන් දතයුතු.