අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සභාග විසභාග වශයෙන්

සියළුම සත්‍යයෝ අවිපරීත සත්‍ය භාවයෙන්ද, ආත්ම ස්වභාවයෙන් ශූන්‍ය හෙයින්ද, ප්‍රතිවේධයට දුෂ්කර වන හෙයින්ද, ඔවුනොවුන් සභාගය හෙවත් සමානය.

මේ චතුරාර්‍ය්‍ය සත්‍යයේ ස්වලක්‍ෂණ ව්‍යවස්ථාන නම් වූ බාධක, ප්‍රභව, ශාන්ති, නිර්‍ය්‍යාණ ලක්‍ෂණයන්ගේ වශයෙන් පිරිසිඳීමේදී විසභාගය හෙවත් අසමානය.

දුක්ඛ සමුදය සත්‍යයෝ දෙදෙන ඖදාරිකය. පීඩනාදි වශයෙන්ද, ආයූහනාදී වශයෙන්ද, මේ දුකය. මේ දුකට කාරණය යයි ඇති සැටි බැස ගැනීමට නොහැකිවන බැවින් ගම්භීරයහ එසේ ගම්භීර වන බැවින්ද, ලෞකික වන බැවින්ද, ආශ්‍රව සහිත බැවින්ද, සභාග හෙවත් සමාන ස්වභාවය ඇත්තාහ.

ඵලහේතුන්ගේ භේදයෙන්ද, පරිඤ්ඤෙය්‍ය ප්‍රහාතව්‍ය ධර්‍මයන්ගේ භේදයෙන්ද විසභාග හෙවත් අසමාන ස්වභාවය ඇත්තාහ.

නිරොධ මාර්‍ග යන සත්‍යයෝ දෙදෙන, ස්වභාවයෙන්ම ගැඹුරු වන බැවින්ද, අධිගමය දුෂ්කර හෙයින්ද, ලෝකෝත්තර වන බැවින්ද, ආශ්‍රව රහිත වන බැවින්ද සභාග හෙවත් සමාන ස්වභාව ඇත්තාහු වෙත්.

ආලම්බන ආලම්බනිකයන්ගේ භේද වශයෙන්ද සාක්‍ෂාත් කළ යුතු, වැඩිය යුතු ධර්‍මයන්ගේ භේද වශයෙන්ද, විසභාග හෙවත් අසමාන වෙත්.

දුක්ඛ, නිරොධ යන සත්‍යයෝ දෙදෙන ඵල වශයෙන් සලකනු ලබන හෙයින් සභාග වෙති. සඞ්ඛත, අසඞ්ඛත ධර්‍මයන්ගේ වශයෙන් විසභාග හෙවත් අසමාන වෙති.

සමුදය, මාර්‍ග යන සත්‍යයෝ දෙදෙන හේතු වශයෙන් සලකනු ලබන හෙයින් සභාගය, නියත අකුසල, නියත කුසලයන්ගේ වශයෙන් විසභාගය.

දුක්ඛ, මාර්‍ග යන සත්‍යයෝ දෙදෙන ප්‍රත්‍යයන් විසින් සකස් කළ හෙයින් සභාගය. ලෞකික ලෝකෝත්තර වශයෙන් විසභාග වෙත්.

සමුදය, නිරොධ සත්‍යයෝ දෙදෙන නෙවසෙක්ඛ නාසෙක්ඛ භාවයෙන් සභාගය. අරමුණු ගැනීම්, අරමුණු නොගැනීම් වශයෙන් අසමානය.

සංක්‍ෂෙප වශයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ විභාග යට දක්වන ලද ආකාරයෙන් දත යුතු. මෙතැන් සිට දුක්ඛාර්‍ය්‍ය සත්‍යාදීන්ගේ විස්තර දක්වනු ලැබේ.