අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛය
මේ ලෝකයෙහි යම්බඳු යමෙකුට අනිෂ්ටවූ හෙවත් මන නොවඩන්නාවූ, ශ්‍රද්ධාදිය ඇති නොකරන්නාවූ, අකාන්තවූ හෙවත් සිත්හි නොවදින, සිත නොවඩන්නාවූ, අමනාපවූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෝ වෙත් ද, ඔහුට අනර්ත්ථකාමි හෙවත් ශ්‍රද්ධාදි ධර්මයන්ගේ අභිවෘද්ධිය යයි කියනලද අර්ත්ථය නොකැමැති වන හෙයින් ඒ ශ්‍රද්ධාදි ධර්මයන්ගේම පිරිහීමයයි කියනලද අනර්ත්ථයම කැමති වන්නාවූ, අහිතකාමි හෙවත් ශ්‍රද්ධාදී ධර්මයන්ගේම උපායභූතවූ අභිවෘද්ධිය නොකැමැතිවන හෙයින් සැදෑහැ පිරිහීම් ආදීන්ගේ උපායභූතවූ අනභිවෘද්ධියට කැමැති වන්නාවූ, අඵාසුකාමි හෙවත් පහසු විහරණය නො කැමැතිවන හෙයින් නොපහසු විහරණයම කැමැති වන්නාවූ, අයෝගක්ෂේමකාමි හෙවත් නිර්භය වූවක් නොකැමැතිවන හෙයින් භය සහිත වූවක්ම කැමැති වන්නාවූ යන මොවුන් හා යම් සඞ්ගතියක් හෙවත් සමඟ ගොස් එක්වීමක් සමාගමයක් හෙවත් ආවාවූ දනන් සමඟ එක්වීමක්, සමොධානයක් හෙවත් හිඳීම්, සිටීම් ආදියෙහිද, භෝජනාදි කෘත්යයන්හිද එකතුවීමක් මිශ්රී භාවයක් හෙවත් සියළු වැඩවලට එකතු කර ගැන්මක් වේද, මෙය අප්‍රියයන් හා එක්වීම යයි කියනු ලැබේ.
මේ අප්‍රිය සත්ත්වයන් හා සම්ප්රයෝගය හෙවත් අප්‍රිය සංස්කාරයන් හා සම්ප්රයෝගය, අනිෂ්ට රූපාදීන් හා එක්වීම ලක්ෂණ කොට ඇත්තේය. චිත්තයාගේ ක්ලාන්ත භාවය කරණ කෘත්‍ය ඇත්තේය. අනර්‍ත්‍ථ භාවයෙන් හෙවත් උපද්‍රව භාවයෙන් වැටහීම වන්නේය.
මේ අප්‍රිය සම්ප්රයෝගය, ස්වරූප වශයෙන් එක් ධර්ම යක් නොවේ. අප්‍රිය වස්තුන් හා සඞ්ගතිය, සමාගමය, සමොධානය, මිශ්රී භාවය යන මොවුන්ගේ වශයෙන් එක්ව යෙදුනාවූ සත්ත්වයාගේ කායික චෛතසික උභය දුක්ඛ යන්ගේ වස්තු භාවය හෙවත් හේතුව වන බැවින් දුකැයි. වදාළසේක නොකැමැතිවූ වස්තුන් හා එක්වීම ඇති කල්හි බිඳීමය. සිඳීමය, පැළීමය යනාදීන් කරණකොටගෙන කායිකවූ දුකද, තැති ගන්වන හෙයින් මානසිකවූ දුකද උපදවත්.