අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපායාස දුක්ඛය

ඤාති ව්‍යසනයෙන් හෝ, භෝග ව්‍යසනයෙන් හෝ, රෝග ව්‍යසනයෙන් හෝ, සීල ව්‍යසනයෙන් හෝ, දිට්ඨි ව්‍යසනයෙන් හෝ මැඩගෙන ගිය පුද්ගලයාගේ මෙසේ නොයෙක් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින් යුත් පුද්ගලයාගේ නොයෙක් දුක්ඛස්වභාවයන් අතුරෙන් එක්තරා දුක්ඛ ස්වභාවයකින් මඩනාලද පුද්ගලයාගේ යම් ආයාසයක් හෙවත් සිත්හි වෙහෙසීමක්, කලාන්ත බවත්, උපායාසයක් හෙවත් බලවත් කලාන්ත බවක්, ආයාසි- තත්ත හෙවත් කලාන්ත බවක්, උපායාසිතත්ත හෙවත් දැඩි කලාන්ත බවක් වේද, මෙය උපායාසය යයි කියනු ලැබේ.

මේ උපායාසය වනාහි බ්‍යාසත්ති ලක්‍ෂණ හෙවත් විරූප වූ අවයව ඇති බව ලක්‍ෂණකොට ඇත්තේය. නිත්ථුනන රසය හෙවත් තැතනුම් කරන කෘත්‍ය ඇත්තේය. විසාද පච්චුපට්ඨානය හෙවත් සිතේ යටපත්වන බවක්ව වැටහෙන්නේය.

උපායාසයාගේ දුක්ඛාර්‍ත්‍ථය - මේ උපායාසය, තෙමේම දුක් නොවෙතත් කායික චෛතසික දුක්ඛයන්ට හේතුවන බැවින් දුක් නම් වන බව වදාරන ලදි.

දුකසේ හිඳීම් සිටීම් ආදි ඉරියව් පවත්වනු වන්ගේ දැඩි ආයාසය කායික දුක්ඛයට හේතු වේ. ඤාතිව්‍යසන ආදීන්ගේ වශයෙන් සිතනවුන් හට මේ උපායාසය දෝමනස්ස දුක්ඛයට හේතු වේ. සිත දැඩිව දවන හෙයින්ද, ශරීරය කෘශ කරන හෙයින්ද, මේ උපායාසය දුක් දොම්නස් දෙක උපදවයි.

මෙහි දක්වන ලද ශෝක, පරිදේව, උපායාස යන ත්‍රිවිධ දුක්ඛයන් අතුරෙන්, මදගින්නෙන් ඇතුළු බඳනෙහිම තෛලාදීන්ගේ පැසීමක් මෙන් ශෝකය දතයුතු. තියුණු ගින්නෙන් පැසෙනු ලබන්නාවූ තෛලයාගේ බඳනෙන් බැහැර නික්මීමක් මෙන් පරිදේවය දතයුතු. බැහැර නික්ම ඉතිරිවූ තෛලයාගේ ඇතුළු බඳනෙහිම අවසානය දක්වා පැසීමක් මෙන් උපායාසය දතයුතු.