අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජාතියගේ දුක්ඛාර්‍ත්‍ථය

මේ ජාතිය හෙවත් ඉපදීමම දුක් නොවෙතත්, දුක්ඛ වේදනාවගේ උත්පත්තියට වස්තු හෙවත් කරුණු වන බැවින් දුක් වන බව වදාරන ලදී. අපාය භූමියෙහි උපන් සත්ත්වයෝ භයානක වූ අපාදුක් විඳිති. සුගති භවයක්වූ මනුෂ්‍ය ලෝකයෙහි උපන් සත්ත්‍වයෝ ගර්භාවක්‍රාන්ති මූලික දුක්ඛාදී නොයෙක් ප්‍රභේදවත්වූ දුක් විඳිති මේ සියලුම දුක්ඛයන්ට, ජාතියම හේතු වෙයි.

මව්කුස උපදනා සත්ත්‍වයන්ගේ දුක් අතුරෙන් ගර්භාව ක්‍රාන්ති මූලක දුක්ඛය, පළමුව විඳිනා දුක් නම් වේ. සත්ත්‍ව තෙම මව් කුස උපදනා කල්හි උපුල්, රත් පියුම්, හෙළ පියුම් ආදින්හි නූපදී. ඒකාන්තයෙන්ම ගර්භයාගේ යට භාගයෙහි පක්වාසයාගේ මතුභාගයෙහි, අතුනු වැටි, පිටකටුවලට මැද තන්හි අතිශයින් අවහිරවූ, අපිරිසිදුවූ, දුගඳින් ගැවසුනු, වැඩියක් පිළිකුල් බව ඇත්තාවූ මව් කුසෙහි, කුණු මස්ය, පිළිනිවූ කුල්මාෂය, ගවරවළ යනාදී තන්හි පණුවකු මෙන් උපන්නාවූ ඒ සත්ත්‍ව තෙම, දස මසක් මුළුල්ලෙහි මව් කුස හටගත්තාවූ තේජෝ ධාතුවෙන් තැවෙමින්, පිටි පිඩක් මෙන් පැසෙමින්, අත්පා ආදි අවයවයන්ගේ හැකිලීම් දිගු කිරීම් ආදියෙන් තොරව දැඩි දුකක් විඳියි. මෙයට ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය යයි කියනු ලැබේ. මේ දුක්ඛය වනාහි අන් කිසිවක්හුගේ ප්‍රයෝගයෙන් තොරව මාතෘ ගර්භයෙහි පිළිසිඳ ගැනීම් හේතුවෙන් වන්නාවූ දුක්ඛ යයි.

ගර්භ පරිහරණ මූලක දුක්ඛය හෙවත් ගර්භරක්‍ෂාව නිදාන කොට ඇති දුක්ඛය- මව් කුස උපන් සත්ත්‍වතෙම, මව්ගේ පැකිලීමය, යාමය, හිඳීමය, නැගී සිටීමය, පෙරළීමය යනාදි ක්‍රියා විශේෂයන්හි රාසොඬුන්ගේ අතට පත්වූ එළුවකු මෙන්ද, අහිකුණ්ඩිකයන්ගේ අතට පත්වූ සර්‍ප පැටවකු මෙන්ද, ඉදිරියට ඇදීමය, ඔබිමොබ ඇදීමය, යටිකුරුකොට සෙලවීමය, ඈත මෑත සෙලවීමය යනාදීවූ උපක්‍රමයෙන් ඉතා වැඩි දුකක් අනුභව කෙරේද, මවගේ ඇල්දිය බොන කල්හි ශීත නරකයෙහි උපන්නක්හු මෙන්ද, උණු කැඳ බත් ආදිය අනුභව කරණ කාලයෙහි සහළඟුරු වැස්සෙන් දැවෙන්නාක්හු මෙන්ද, ලුණු ඇඹුල් ආදිය අනුභව කරණ කාලයෙහි ශරීරය සැස කාරම් දිය ඉස්නා කම්කටුලට පැමිණි පුරුෂයෙක්හු මෙන්ද දැඩිවූ යම් දුකක් විදීද, එය ගබ්භපරිහරණමූලක වූ හෙවත් ගර්භරක්‍ෂාව නිදාන කොට ඇත්තාවූ දුක්ඛය වේ.

විජායන මූලක දුක්ඛය - ප්‍රසවය කරන්නාවූ මවගේ කර්‍මජ වාතයෙන් පෙරළා නරක ප්‍රපාතයකට හෙළනු ලබන්නාක් මෙන්, වැඩියක් බිහිසුණුවූ යෝනි මාර්‍ගයට හෙළනු ලබන්නාවූ පුද්ගලයා හට අතිශයින් අවහිර වූ යෝනි මුව සිදුරෙන් පිටකරනු ලබන්නාවූ පුද්ගලයා හට, දොර යතුරු සිදුරකින් පිටකරනු ලබන හස්තියෙක් හට උපදනා දුක මෙන්ද, සඞ්ඝාත පර්‍වතයෙන් සුණු කරනු ලබන්නාවූ නිරි සතෙක් හට මෙන් යම් දුකෙක් උපදනේද, ඒ දුක්ඛය විජායන මූලක දුක්ඛය නම් වේ.

බහිනික්ඛමණ මූලක දුක්ඛය - අළුත උපන්නාවූ, අළුත හටගත් වණයකට බඳුවූ සියුමැලි සිරුර ඇත්තහුට අතින් ගැනීමය, නැහැවීමය, සේදීමය, පිළිකඩින් පිරි මැදීමය යන මේ ආදිය කරන කල්හිද හිඳිකටු පිහිතුඩු ආදියෙන් විදින පලන කලක් බඳුවූ යම් දුකෙක් උපදීද එය මව් කුසින් පිටවීම නිදාන කොට ඇත්තාවූ බහි- නික්ඛමණ මූලක දුක්ඛය නම් වේ.

අත්තූපක්කම මූලක දුක්ඛය - ප්‍රවෘත්ති කාලයෙහි තෙමේම, තමා නසන්නාහටද, අචෙලක ව්‍රතාදී වශයෙන්, හිරු දිසාවට මුහුණ ලා පැවැත්මෙන් තැවීමය. ගින්නෙන් තැවීමය යනාදියෙහි නැවත නැවත යෙදෙන්නාහටද, ක්‍රෝධයෙන් අනුභව නොකරන්නාහටද, බෙල්ලෙහි වැලලා මිය යන්නා හටද, යම් දුකෙක් උපදීද එය අත්තූපක්කම මූලක දුක්ඛය හෙවත් ස්වකීය උපක්‍රම නිදාන කොට ඇත්තාවූ දුකයි.

පරූපක්කම මූලක දුක්ඛය අනුන් කෙරෙන් වධබන්‍ධ නාදීන් විඳින්නා හට යම් දුකෙක් උපදීද, එය පරොපක්‍රම මූලක දුක්ඛය හෙවත් අනුන්ගේ උපක්‍රම නිදාන කොට ඇත්ත වූ දුකයි.

ජාතිය මේ සියළු දුක්ඛයන්ටම හේතු වේ. එහෙයින් මෙසේ වදාරන ලදී.

සත්ත්වතෙමේ නරකයන්හි ඉදින් නූපදී නම්, ඒ නරක යන්හි ගින්නෙන් දනු ලැබීම් ආදීවූ නොවැළැක්විය හැකි දුකෙක් කොයින්ද? ජාතියගෙන් තොරව ඒ දුක්ඛයාගේ පිහිටීමක් පැවැත්මක් නැත්තේමය. මෙයින් නිරය ප්‍රති සන්‍ධිය දුකයයි වදාළසේක.

තිරිසනුන් කෙරෙහි, කසය, කැවිටිය, දඬුය යන මෙයින් පහර ලත් කල්හි හටගන්නාවූ අනෙකප්‍රකාරවූ දුක්ඛයෙක් වේද, තිරිසන් භවයෙහි ඉපදීමක් නොවූ කල්හි කෙසේ නම් වන්නේද? නොවන්නේමය. මෙය තිරච්ඡාන ප්‍රතිසන්‍ධි දුක නම් වන්නේය.

ප්‍රේතයන් විෂයෙහි ක්‍ෂුද පිපාසය, වාතය, සූර්‍ය්‍ය සන්තාපය යනාදිවූ හේතුවෙන් හටගන්නාවූ නානාප්‍රකාරවූ යම් දුක්ඛයෙක් වේද, ඒ දුක්ඛය ප්‍රේතයන් විෂයෙහි නූපන්නහුට නැත්තේමය, මෙය ප්‍රේතාත්මභාව ප්‍රතිසන්‍ධි දුක්ඛය නම් වේ.

ඝනාන්‍ධකාරය ඇති සීතයෙන් නොවැළැක්විය හැක්කා වූ ලෝකාන්තර්‍ය්‍ය නරකයෙහිද, විනිපාත අසුරයන් විෂයෙහිද යම් දුක්ඛයෙක් උපදීද, ඒ ලෝකාන්තරික නරක, විනිපාතික අසුරයන් විෂයෙහි ප්‍රතිසන්‍ධියක් නොවන්නී නම්, ඒ දුක්ඛය නැත්තේමය. එයින්ද මේ ජාති සඞ්ඛ්‍යාත ප්‍රතිසන්‍ධිය දුක් වන්නීය.

ගූථ නරකයෙහි මෙන් මව් කුසයෙහි බොහෝ කලක් වාසය කරන්නාවූ සත්ත්ව තෙම ඒ මව් කුසින් බැහැර නික්මෙන්නේ යම් ගර්භාවක්‍රාන්ති මූලක, විජායන මූලකාදී වූ දුක්ඛයකට පැමිණේද, ඉතා දරුණුවූ මේ දුක්ඛයද පිළිසිඳ ගැන්මක් නැති කල්හි නොවේමය. එයින්ද මව් කුස පිළිසිඳීමද දුක් වන්නීය.

මේ සත්ත්‍ව ලෝකයෙහි කිසි තැනෙකත් යම්කිසි දුකෙක් ඇද්ද, ඒ දුක්ඛයද කිසි කලෙකත් ප්‍රතිසන්‍ධියෙන් වෙන්වීමක් ඇතිකල්හි නොමැත්තේය.

මෙසේ සියළු දුක්ඛ ධර්‍මයන්ට පළමුව ප්‍රතිසන්ධිය දුක් වන්නීයයි වදාළ සේක.