අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ශෝක දුක්ඛය

ඤාති ව්‍යසන හෙවත් නෑයන්ගේ හිත සුව විනාශය, නෑයන්ගේ විනාශවීම, සොර භය රෝග භය ආදි හේතුවෙන් නෑයන්ගේ පිරිහීම යනාදියෙන් මැඩගෙන ගිය පුද්ගලයාගේද, භෝග ව්‍යසන හෙවත් භෝග සම්පත්තීන් පිරිහීම, රාජ චෞරාදීන් විසින් පැහැරගැන්ම යනාදියෙන් මැඩගෙනගිය පුද්ගලයාගේද, රෝග ව්‍යසන හෙවත් නිරෝගී බව විනාශ කරමින් රෝගයෙන් මැඩගෙන ගිය පුද්ගලයාගේද, සීල ව්‍යසන හෙවත් සීල විපත්තිය නොහොත් දුශ්ශීල භාවයෙන් මැඩගෙන ගිය පුද්ගලයාගේද, දිට්ඨි ව්‍යසන හෙවත් සම්‍යග්දෘෂ්ටිය විනාශ කරමින් මිථ්‍යාදෘෂ්ටියෙන් මැඩගෙනගිය පුද්ගලයාගේද, මෙසේ නොයෙක් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකින් යුත් පුද්ගලයාගේ නොයෙක් දුක් ස්වභාවයන් අතුරෙන් එක්තරා දුක් ස්වභාවයකින් මඩනාලද පුද්ගලයාගේ යම් ශෝකයක් ශෝකයාගේ ආකාරයක්, ශෝක කරන්නහුගේ ස්වභාවයක් අභ්‍යන්තරයෙහිවූ ශෝකයක්, අභ්‍යන්තරයෙහි වියලවන්නාක්හු මෙන් ඇතිවන ශෝකයක්, චිත්තයාගේ දවන ආකාරයක්, දුකට පත් සිතක් හෙවත් දොමිනසක්, ශෝකසල්ලයක් හෙවත් ශෝක නමැති හුලක්වේද මෙය ශෝකය යයි කියනු ලැබේ.

මෙහි දක්වන ලද ඤාති, භෝග, රෝග, සීල, දිට්ඨි, යන පඤ්චවිධ ව්‍යසනයන් අතුරෙන් පළමුවූ ඤාති ව්‍යසන, භෝග ව්‍යසන යන දෙදෙන ප්‍රඥප්තිමාත්‍රවූ ඤාති භෝග සම්පත්තින් නිසා ඇතිවන ව්‍යසනයන් බැවින් අනිෂ්පන්න නම්හු වෙත්. රෝග ව්‍යසන, සීලව්‍යසන දිට්ඨි ව්‍යසනය යන තිදෙන අතුරෙන් රෝග ව්‍යසනය කායික දුක්ඛ වේදනාව වන හෙයින්ද, ශීල ව්‍යසනය ප්‍රාණාති පාතාදි චේතනාව වන හෙයින්ද, දෘෂ්ටි ව්‍යසනය මිථ්‍යාදෘෂ්ටිය වන හෙයින්ද පරමාර්‍ත්‍ථ ධර්‍ම වන බැවින් නිෂ්පන්න නම්හු වෙත්. එමෙන්ම ඤාති, භෝග, රෝග යන තිදෙන කුසල් හෝ අකුසල් හෝ නොවෙත්. ශීල, දෘෂ්ටි ව්‍යසනයෝ අකුසල්හු වෙත්.

මේ ශෝකය ඇතුළතම තැවීම් ලක්‍ෂණය ඇත්තේය. චිත්තයාගේ දැවීම කෘත්‍යය කොට ඇත්තේය. ඒ ඒ ගුණ දොස් අනුගමන කොට පසුතැවීම වැටහීම් කොට ඇත්තේය.

ශෝකයාගේ දුක්ඛාර්‍ත්‍ථය- ශෝකය, ප්‍රකෘතියෙන්ම දුක් වන බැවින්ද, දුක්ඛයාගේ හේතුව වන හෙයින්ද දුකැයි වදාරන ලදි. මේ ශෝකය කායික දුක්ඛයාගේද මානසික දුක්ඛයාගේද හේතුව වේ. ශෝක වේගයෙන් හෘදයෙහි මහ හඬක් හටගෙන පැසවා බිඳෙන්නේය. මුඛයෙන් හෝ කළුපැහැ ලේ නික්මෙන්නේය. බලවත්වූ ශාරීරක දුක්ඛයෙක් උපදින්නේය. මාගේ මෙතෙක් නෑයෝ පිරිහීමට ගියහ. විනාශයට ගියහ. මාගේ මේතෙක් භෝග සම්පත්හු පිරිහීමට ගියහ. විනාශයට ගියහ. මෙසේ සිතන්නා හටද බලවත්වූ දොමිනසෙක් උපදින්නේය. මෙසේ මේ උභය දුක්ඛයන්ට හේතු වන බැවින් ශෝකය දුක යයි වදාරන ලදි.

මේ ශෝකය සත්ත්‍වයන්ගේ හෘදයෙහි හුලක් මෙන් පීඩා කෙරෙයි. ගිනියම් කළ හුල නැවත නැවත දවයි. ශෝකය යම් හෙයකින් ව්‍යාධි, ජරා, මරණ සඞ්ඛ්‍යාත ප්‍රභේද ඇති දුක්ඛයටත් පමුණුවාද, අන්‍යවූ වෛෂාදි අනේක ප්‍රකාර දුක්ඛයන් එළවාද, එහෙයින් දුකයයි වදාළ සේක.