අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්චුපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත දුක්ඛය

ජාති දුක්ඛය මුල්කොට ඇති යම් දුකෙකුත් භාග්‍ය වතුන් වහන්සේ වදාළ සේක්ද, එසේ නොවදාළාවූ යම් දුකෙකුත්වේද, ඒ සියලුම දුක් සමූහය, මේ රූප, වෙදනා සංඥා සංඛාර විඤ්ඤාණුපාදානස්කන්‍ධයන් හැර යම් හෙයකින් විද්‍යමාන නො වේද, එහෙයින් සැකෙවින් මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙනම දුකයයි වදාළ සේක.

දර පෙණෙල්ල පෙළන්නාවූ ගින්න මෙන්ද, ඉලක්කය පෙළන්නාවූ චාපාදි ආයුධයන් මෙන්ද, ගව සමූහය පෙළන්නාවූ ඩැහැ ලේ බොන පිඞ්ගල මැසිය, විද ලේ බොන මදුරුය යනාදීන් මෙන්ද, කෙත පෙළන්නාවූ ගොයම් කපන්නවුන් මෙන්ද, ගම පෙළන්නාවූ ගම් පහරන්නවුන් මෙන්ද, මේ ජාති ආදී දුක්ඛයෝ නොයෙක් පරිද්දෙන් උපාදානස්කන්‍ධ පඤ්චකයම පෙළන්නාහුය. භූමියෙහි හටගත්තාවූ තෘණ ලතාදීන් මෙන්ද, වෘක්‍ෂ යන්හි හටගත්තාවූ මල්පල පලුපත් ආදීන් මෙන්ද, මේ ජාති ආදී දුක් සමූහය උපාදානස්කන්‍ධයන්හිම හට ගනිත්.

උපාදානස්කන්‍ධයන්ගේද මුල්වූ දුක, ජාති දුක නම්. මැදවූ දුක ජරා දුක නම්. අවසන්වූ දුක මරණ දුක නම්. මරණාසන්න දුක්ඛය විසින් පහරන ලද සෙයින් සිත් තැවී මෙන් වන දුක සොක දුක නම් ඒ සොකය නොසිඳීම් හේතුවෙන් වලප්නා දුක පරිදෙව දුක්ඛය නම්. ඒ වලප්නා දුකෙන් මත්තෙහි බොටුව වියළීම්, හන්දි බැඳුම්, හන්දි සිඳීම් උපදවන ධාතූන්ගේ කැළඹීමයයි කියන ලද අනිෂ්ට ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හා එක්ව යෙදුන හෙයින් ශරීරය පෙලෙන දුක, දුක්ඛ නමි. ඒ කායික දුක්ඛය විසින් පෙළනු ලබන්නාවූ පෘථග්ජනයන්ට ඒ කායික දුක්ඛයෙහි වේෂය උපදනා හෙයින් සිත පෙළන දුක දෝමනස්ස දුක්ඛය නමි ශෝකාදීන්ගේ වැඩිවීමෙන් හටගත් චිත්ත පීඩා ඇත්තවුන්ගේ තැතනිම් දුක උපායාස දුක නමි. අදහස් මුදුන් නොපැමිණිය වූන්ගේ නොලද හැකි වස්තුන් පැතීමයයි කියන ලද කැමැත්ත නොසිදු වීමෙන් වන දුක ඉච්ඡිතාලාභ දුක නමි. මෙසේ නොයෙක් ආකාරයෙන් පඤ්ච උපාදානස්කන්‍ධයෝම දුකයයි වදාළ සේක.

මහ මුහුදෙන් ගන්නාලද එක්දිය බිඳෙක්හි මුළු මහ මුහුදු දිය රස අඟවන්නාක් මෙන්, සියළු සත්ත්‍වයන්ගේ පඤ්චවිධවූ උපාදානස්කන්‍ධයන් විෂයෙහි දුක් සමූහය සංග්‍රහ කොට දක්වනු පිණිස මෙසේ සංක්‍ෂේපයෙන් පඤ්චුපාදානස්කන්‍ධයෝම දුක්ඛයයි වදාළ බව දතයුතු.