ජරා දුක්ඛය
ඒ ඒ සත්ත්ව නිකායෙහි උපන්නාවූ ඒ ඒ සත්ත්වයන්ගේ යම් ජරාවක් ජීරණතා හෙවත් දිරණ බවක්, ඛණ්ඩච්චං හෙවත් දත් නියපොත්තන්ගේ කැඩුණු බිඳුනු බවක්, පාලිච්චං හෙවත් කෙස ලෝමයන්ගේ පැසුණු බවක්, වලිත්තචතා හෙවත් මස වියලීම් සම රැලිවැටීම් බවක්, ආයුෂයාගේ පිරිහීමක්, චක්ෂුරාදී ඉන්ද්රියයන්ගේ පරිපාක බවක් හෙවත් මිහිකිරීම් බවක් වේද එය ජරාව යයි කියනු ලැබේ.
මෙහි ජරා යන පදයෙන් ජරාවගේ හෙවත් දිරීමේ ස්වභාවයද ජීරණතා යන්නෙන් ජරාවගේ ආකාරයද දැක්වේ. ඛණ්ඩච්චං යන පදයෙන් කල් ඇවෑමෙන් දත් හා නියපොත්තන්ගේ කැඩුනු වැටුනු බව ප්‍රකාශ වේ පාලිච්චං යන පදයෙන් කෙශ ලෝමයන්ගේ පැසුනු බව කරන කෘත්‍ය පළවේ. වලිත්තචතා යන්නෙන් මාංසය වියලවා සමෙහි රැලි නගන කිස දැක්වේ.
මේ ඛණ්ඩච්චං, පාලිච්චං, වලිත්තචතා යන තුන් පදයෙන් කල්යාමෙන් පවත්නා කෘත්‍යය දක්වනු ලැබේ මේ විකෘති ස්වභාවයට ප්‍රකට ජරාව යයිද කියනු ලැබේ.
ජලය, වාතය, ගින්න යන මොවුන් කරණකොටගෙන තෘණ වෘක්ෂාදීන්ගේ හාත්පසින් බිඳගිය බවක් හෝ අවටින් සිඳ බිඳ ගිය බවක් හෝ දාගිය බවක් හෝ ප්‍රකට වේද දිය සුලන් වැද බිඳ ගියාවූ, ගින්නෙන් දාගියාවූ ඒ මාර්ගය තෙම, යම්සේ දිය, සුලං, ගිනිම නොවේද, එසේම දත් නිය ආදීන් ගේ කැඩීම්, බිඳීම් ආදියෙන් ජරාව ගිය මගම ප්‍රකාශ වන්නේය ජරාව ඇසින් හෙවත් චක්ෂුර්විඥානයෙන් දතහැකි වූවක් නොවන්නීය.
ආයුෂයාගේ පිරිහීමය, ඉන්ද්රියයන්ගේ මිහිකිරීමය යන දෙපදයෝ කල් ඉකුත්වීමෙහිදී අතිශයින් ප්‍රකට වන්නාවූ ආයුෂයාගේ පිරිහීමද, චක්ෂුරාදී ඉන්ද්රියයන්ගේ මුහුකුරා යාමද යන ස්වභාව වශයෙන් ජරාව දක්වන ලදී. ජරාවට පැමිණියාවූ සත්ත්වයාගේ ජීවිතෙන්ද්රියතෙම යම්හෙයකින් පිරිහේද, එහෙයින් ජරා තොමෝ ආයුෂයාගේ පිරිහීමයයි ඵලොපචාර වශයෙන් වදාරන ලදී. ලදරු කාලයෙහි ප්‍රසන්නවූද සියුම්වූද ගොදුරුවූ රූපාදීවූ අරමුණු පහසුවෙන්ම ගැනීමට සමර්ත්ථ වූ චක්ෂුරාදි ඉන්ද්රියයෝ, ජරාවට පැමිණියාවූ සත්ත්වයාට, මිහිකිරීම් බවට, නොපහන් වූ බවට පත්වන හෙයින් ඖදාරිකවූ අරමුණු ගන්නට යම් හෙයකින් අසමර්ත්ථ වෙත්ද, එහෙයින් ජරා තොමෝ ඉන්ද්රියයන්ගේ මිහිකිරීම යයිද ඵලොපචාර වශයෙන් වදාරන ලදී.
මේ සියලුම ජරා තොමෝ වනාහි-
- පාකට හෙවත් ප්‍රකට වූ ජරාය
- පටිච්ඡන්න හෙවත් අප්‍රකටවූ ජරාය යි ද්විවිධ වේ.
දත් නිය ආදීවූ කොට්ඨාශයන්හි කැඩුනු බිඳුනු බැව් දක්නා හෙයින් රූප ධර්මයන්හි පැවති ජරා තොමෝ ප්‍රකට ජරා නම් වේ. නාම ධර්මයන්හි වනාහි එබඳු වෙනසක් නො දක්නා හෙයින් එය පටිච්ඡන්න හෙවත් අප්‍රකට ජරා නම් වේ. ඒ දත්වැටීම් ඈ බව යයි කියන ලද වර්ණ සංස්ථානය ඇසින් හෙවත් චක්ෂුර් විඥානයෙන් දැක මනොද්වාරයෙන් සිතා මේ දත්හු ජරාව විසින් මඩනා ලදැයි ජරාව දැන ගනී. දිය පිහිටි තැන්හි බැන්දාවූ සළකුණු බලා යට ජලය පැනි බව දැනගන්නා මෙනි.
තවද, මේ ජරාව
- අවිචි හෙවත් අතර පිරිසිඳීමක් නැති ජරාවය
- සවිචි හෙවත් අතර පිරිසිඳීමක් ඇති ජරාවයයි ද්විධ වේ.
මැණික්, රන්, රිදී, පබළු, සඳ, හිරු ආදී වස්තුන්ගේ අතරතුර පැවති ජරා තොමෝ, සත්ත්වයන්ගේ මන්දදස කාදී කල්හි ජීවිතෙන්ද්රිය රහිතවූ වෘක්ෂාදීන්ගේ ජරාව මෙන්ද, වර්ණ විශේෂාදීන් නොදත හැකි බැවින් අතර පිරිසිඳ නො දත හැකි වූ අවිචි ජරා නම් වේ.
ඒ මැණික් රන් රිදී ආදි වස්තුන් කෙරෙන් අන්‍යවු දත් ආදි වූ වස්තුන්හි අතරතුර පැවති ජරා තොමෝ වර්ණ විශේෂාදීන්ගේ වශයෙන් පහසුවෙන් දතහැකි බැවින් අතර තුර පිරිසිඳ දතහැකි වූ සවිචි ජරා නම් වේ.
මේ සවිචි ජරාවද,
- උපාදිත්තක
- අනුපාදිත්තක යන දෙපරිද්දෙන් දතයුතුය.
ළදරු කුමරුවන්ට පළමුකොට කිරි දත් පහළ වෙත්. ඒ කිරි දත් ස්ථිර නොවෙත්. ඒ කිරි දත් වැටුණු කල්හි නැවත දත් මතුවෙත්. ඒ දත් පළමුකොට සුදුපාට වෙත්, ජරාවෙන් මඩනා ලද කල්හි කල් යාමෙන් කලු වූවාහු වෙත්. කෙශයන්ගේ ද පළමු වර්ණය ජරාව විසින් මඩනා ලද කල්හි වෙනස් බවට පැමිණෙයි. ඡවි වර්ණයද, වැඩෙන්නාවූ සත්ත්වයන් කෙරෙහි මනාව වැටහේ. ජරා සඞ්ඛ්‍යාත වාතය විසින් මඩනා ලද කල්හි සිවියෙහි රැළි වැටේ. මේ කියන ලද්දේ උපාදිත්තක සන්තානයෙහි පැවැති සවිචි ජරා වයි.
මේ ජරා තොමෝ වනාහි, පඤ්චස්කන්ධයන්ගේ මිහිකිරීම් ලක්ෂණ ඇත්තීය. මරණයට පැමිණවීම් කෘත්‍ය ඇත්තීය. යොවුන් බව නැසීම් වශයෙන් වැටහීම් ඇත්තීය.