අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රිය විප්‍රයෝග දුක්ඛය

මේ ලෝකයෙහි යම්බඳු යමෙකුට ඉෂ්ටවූ හෙවත් මන වඩන්නාවූ, ශ්‍රද්ධාදිය ඇති කරන්නාවූ, කාන්තවූ හෙවත් සිත්හි වදින, සිත් වඩන්නාවූ, මනාපවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශයෝ වෙත්ද, ඔහුට අර්ථකාමී හෙවත් ශ්‍රද්ධාදි ධර්මයන්ගේ අභිවෘද්ධිය කැමැති වන්නාවූ හිතකාමි හෙවත් අභිවෘද්ධියට කැමති වන්නාවූ, ඵාසුකාමි හෙවත් පහසු විහරණය කැමැති වන්නාවූ, යෝගක්ඛෙමකාමි හෙවත් භය රහිත වූවක්ම කැමති වන්නාවූ, මව හෝ, පියා හෝ, සහෝදරයා හෝ, සහෝදරිය හෝ, මිත්‍රයෝ හෝ සියළු කෘත්‍යයන්හි සහාය වන්නේ හෝ, ඤාතීහු හෝ, සහලේ නෑයෝ හෝ යන මොව්හු වෙද්ද, ඔවුන් හා යම් අසඞ්ගතියක් හෙවත් සමග ගොස් එක් නොවීමක්, අසමාගමයක් හෙවත් ආවාවුන් සමග එක් නොවීමක්, අසමොධානයක් හෙවත් හිඳීම්, සිටීම්, ආදියෙහිද භොජනාදි කෘත්‍යයන්හිද එකතු නොවීමක්, අමිශ්‍ර භාවයක් හෙවත් වැඩවලට එකතුකර නොගැනීමක් වේද, මෙය ප්‍රිය විප්‍රයෝග හෙවත් ප්‍රියයන් හා වෙන්වීමේ දුකයයි කියනු ලැබේ.

ප්‍රිය විප්‍රයෝගය ප්‍රිය මනාප වස්තුන් කෙරෙන් වෙන් කිරීම් ලක්‍ෂණකොට ඇත්තේය. ශෝකය ඉපදවීම කෘත්‍ය කොට ඇත්තේය. ඤාති ව්‍යසනාදිය ඇත්තෝව වැටහෙන් නේය.

ස්වරූප වශයෙන් ප්‍රිය විප්‍රයෝගය එක් ධර්මයක් නොවේ. නියමයෙන් ප්‍රියමනාප වස්තුන් හා විප්‍රවාසයට පැමිණි පුද්ගලයන්ගේ විප්‍රකාරවූද, කායික චෛතසික දුක්ඛයාගේ හේතුවද වන බැවින් දුක නම් වන්නේය.