ලෝකයෙහි සෑමදෙනා ම තමන්ගේ සැපයට. ලාභයට දියුණුවට කැමැත්තෝ ය. තුන්තරා බෝධියෙන් එකකට පැමිණීමේ අදහසින් පවත්වන්නා වූ: තමන්ගේ සැපයට, දියුණුවට ලාභයට කැමති වන්නාක් මෙන් තමන්ට සතුරු වූ ද, මිතුරු වූ ද, මධ්‍යස්ථ වූ ද සැම දෙනා ගේ සැපයට දියුණුවට ලාභයට කැමති වන ස්වභාවය මෛත්‍රී පාරමිතාව ය.
තවත් ක්‍රමයකින් කියත හොත් අනුන් ගේ යහපත පිණිස කයින් කරන වැඩ කිරීමත්, අනුන් ගේ යහපත පිණිස පවත්නා වූ ද, අනුන් ගේ සිත සතුටු වන්නා වූ ද කථා කිරීමත් “අනුන් නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා” යනාදීන් සිතීමත් මෛත්‍රී පාරමිතාව ය. තවත් ක්‍රමයකින් කියත හොත් මිත්‍රත්වය මෛත්‍රී නම් වේ. සම්බෝධිය පිණිස පවත්නා වූ සතුරු, මිතුරු, මැදහත් සැමදෙනා හා ම පවත්වන්නා වූ මිත්‍රත්වය මෛත්‍රී පාරමිතාව ය.
“කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ලොකස්ස හිතසුඛුපසංහාරෝ අත්ථතො අව්‍යාපාදො මෙත්තා පාරමිතා”
යනුවෙන් චරියාපිටක අටුවාවෙහි මහා බෝධි මෛත්‍රී පාරමිතාව දක්වා තිබේ. “කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් පරිගෘහිත ලෝකයට හිත සැප එළවීම, අර්ථ වශයෙන් අව්‍යාපාදය මෛත්‍රී පාරමිතාව’ ය යනු එහි තේරුම ය.
රාගයත් මෛත්‍රීයේ මුහුණුවර ඇති ක්ලේශ ධර්මයෙකි. මෛත්‍රී පාරමිතාව පුරන තැනැත්තා විසින් මෛත්‍රිය හොඳින් හැඳින ගත යුතුය. රාගයත් හොඳින් හැඳින ගත යුතු ය. එසේ නො වුවහොත් නොයෙක් අවස්ථාවලදී තමා කෙරෙහි ඇති වන රාගයට මෛත්‍රිය යයි රැවටෙන්නට ඉඩ තිබේ.
හොඳ ඇඳුමකින් සැරසී සිටින පිරිසිදු ලස්සන ළමයකු දුටහොත් බොහෝ දෙනාට ඒ ළමයා හා කථා කරන්නටත්, ඒ ළමයා වඩා ගන්නටත්, අත පත ගාන්නටත්, ආහාර පානාදිය ඇති වෙලාවක නම් ඔහුට කවන්නට පොවන්නටත් සිත් වෙයි. කිලිටි ඇඳුමක් ඇඳ සිටින අපිරිසිදු කැත ළමයකු දුටහොත් ඒ අය ඒ ළමයා දෙසවත් නො බලති. ඒ ළමයා ළංවන්නට ආවොත් එළවා දමති. ලස්සන පොහොසත් ළමයා ය. අසරණ දුප්පත් කැත ළමයා ය යන මේ දෙදෙනාගෙන් වඩා මෛත්‍රියට කරුණාවට ලක් විය යුත්තේ දුප්පත් කැත ළමයා ය.
වඩා මෛත්‍රිය කරුණාව පැවැත්විය යුතු, දුප්පත් කැත ළමයා ගැන ඇති නො වන, ලස්සන ළමයා ගැන පමණක් බොහෝ දෙනකුට ඇති වන කරුණාව වැනි මෛත්‍රිය වැනි ස්වභාවය සත්‍ය වූ කරුණාව හෝ මෛත්‍රිය නොව කරුණාවේ හෝ මෛත්‍රියේ ආකාරයෙන් ඇති වන සප්‍රීතික තෘෂ්ණාව ය. රාගය යි කියනුයේ ද මෙයට ය. භාර්‍ය්‍යාවන් ගැන, දූ දරුවන් ගැන, ස්වාමිපුරුෂයන් ගැන, ලස්සන ඇතැම් සතුන් ගැන, ඇති වන කරුණාව වැනි මෛත්‍රිය වැනි ස්වභාවය ද රාගය ම ය.
සත්‍ය වූ මෛත්‍රිය නම් ලස්සනකම, කැතකම ගැන හෝ දුප්පත්කම, පොහොසත්කම ගැන හෝ උගත්කම, නූගත්කම ගැන හෝ අනිකක් හෝ අපේක්ෂා නො කොට, මා දුකට නො කැමති වන්නාක් මෙන්, දුකට බය වන්නාක් මෙන්, සැපයට කැමති වන්නාක් මෙන්, සැපය සොයන්නාක් මෙන්, ලොව වෙසෙන හැම දෙනා ම දුකට නො කැමැත්තෝය, දුකට බියවන්නෝ ය, සැපයට කැමැත්තෝ ය, සැපය සොයන්නෝ ය යි දුක් නො කැමති සැපයට කැමති, අන්‍යයන් දුකට පත් නො වනවාට සැප ලබනවාට කැමති ස්වභාවය ය.
ඒ ස්වභාවය වූ මෛත්‍රියෙන් යුක්ත සිත් ඇති තැනැත්තා මෛත්‍රී සහගත ක්‍රියා කරන්නේ ය. මෛත්‍රී සහගත කථා කරන්නේ ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා යි සිතන්නේ ය. මෛත්‍රී කරුණා ප්‍රතිරූපක රාගය වනාහි සත්ත්වයා ප්‍රේත ලෝකයට පමුණුවන පාපයෙකි. මරණාසන්නයේ දී තමන් ගේ දූ - දරුවන් ගැන, භාර්‍ය්‍යාවන් ගැන, ධනය ගැන ඒ රාගයෙන් යුක්තව සිටීමෙන් බොහෝ දෙනා ප්‍රේත තත්ත්වයට පැමිණෙති.