අනුන් හා කථා කිරීමේ දී ඔවුන් ගේ සිත නො රිදෙන සැටියට සිත් සතුටු වන සැටියට, ඒ ඒ තැනැත්තා ගේ තරාතිරම අනුව හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ, මහත්මයා, රාළහාමි, අප්පුහාමි, නෝනා, හාමිනේ, මැණිකේ, අයියා, මල්ලී, අක්කා, නංගී යනාදීන් ප්‍රිය වචනයෙන් ම ඒ ඒ අය ගැන කථා කිරීම ය, ඒ ඒ අය නැති තැනදී ද අසවල් ස්වාමීන් වහන්සේ අසවල් මහත්මයා අප්පුහාමි හාමිනේ යනාදීන් ප්‍රිය වචනයෙන් ම ඒ ඒ අය ගැන කථා කිරීම ය, අනුන් හොඳ මඟ යෙත්වා යි තමා දන්නා බණ දහම් අනුන්ට කීම ය, අනුන්ට යහපතක් වේවා යි තමා දන්නා ප්‍රයෝජනවත් කරුණු අනුන්ට කියා දීම ය, අනුන් වරදවා යම් යම් වැඩ කරනු දුටු කල්හි ඒවා කර ගන්නා සැටි කියා දීම ය, ගුණවතුන් ගේ ගුණ ඔවුනට ගෞරවයෙන් කීම ය, හොඳ වෛද්‍යයන්, හොඳ කර්මාන්ත කාරයන්, අවංක වෙළෙන්දන් අනුන්ගේ යහපත පිණිස හඳුන්වා දීම ය. එසේ ම අනුන්ගේ යහපත පිණිස වඤ්චාකාරයන් හඳුන්වා දීම ය, භේද වූවන්ට සමගිය පිණිස අනුශාසනය කිරීම ය, රෝගීන්ට රෝගය සුව කර ගැනීමට උපදෙස් දීම ය, දිළින්දන්ට දිළිඳු කමින් මිදීමට උපදෙස් දීම ය, පව්කම් කරන්නවුන්ට ඒවා නො කරන්නට අනුශාසනා කිරීම ය, පින් නො කරන්නවුන්ට බණ අසන්නය, පන්සල් යන්නය, වන්දනාවට යන්නය, දන් දෙන්නය, සිල් රකින්නය, භාවනා කරන්නය කියා අනුශාසනා කිරීමය, මාපියනට නො සලකන දරුවන්ට මාපියන්ට සලකන්නට අනුශාසනා කිරීම ය, නිකම් කාලය ගත කරන්නන්ට යම්කිසි වැඩක යෙදෙන ලෙස අනුශාසනා කිරීමය යනාදිය මෛත්‍රී සහගත වාක් කර්මයෝ ය.