මෙත් සිතින් වාසය කරන්නවුන්ට ආයුධවලින් හානියක් නො වන බවට කොසඹෑ නුවර උදේන රජුගේ අග මෙහෙසියක් වූ සාමාවතී දේවියගේ කථාව දැක්විය යුතුය. මාගන්ධියා නම් වූ අන් දේවියක විසින් නොයෙක් උපක්‍රම කොට බිඳවනු ලැබීමෙන් රජතුමා සාමාවතිය කෙරෙහි තදින් කිපුණේය. සාමාවතී දේවිය ගේ පරිවාර ස්ත්‍රීහු ද පන්සිය දෙනෙක් වෙති. රජු කිපී සිටිනු දත් සාමාවතී දේවී පරිවාර ස්ත්‍රීන්ට අවවාද කරන්නි “මේ අවස්ථාවේදී මෛත්‍රිය මිස අන් පිහිටක් නැත. තෙපි සැමදෙන ම කිසිවකුට කෝප නො කර රජු කෙරෙහිත්, රජු අප හා බිඳ වූ දේවිය කෙරෙහිත්, තමන් කෙරෙහිත් වෙනසක් නැතිව මෛත්‍රී සිත පවත්වව්” යයි සැම දෙනා ට අවවාද කළා ය.
ස්ත්‍රීන් සැම දෙන ම මෙත් සිතින් වසන සමයෙහි සමාවතී දේවිය හා පරිවාර ස්ත්‍රීන් පන්සියය පෙළට සිටුවා පුරුෂයන් දහස් දෙනකු ගේ බල ඇති දුන්න ගෙන සාමාවතී දේවියගේ පපුවට විෂ පෙවූ ඊයක් විද්දේ ය. ඔවුන්ගේ මෛත්‍රී චිත්තයේ ආනුභාවයෙන් ඒ ඊය ආපසු හැරී රජුට අභිමුඛ ව සිටියේ ය. රජු බිය පත් වී පාමුල වැඳ වැටී දේවියගෙන් සමාව ඉල්ලී ය.
ගින්නෙන්, විෂයෙන්, ආයුධයෙන් ශරීරයට හානියක් නොවීම වනාහි මෙත් වඩන සැමට ම එයින් සැම කල්හි ම ලැබෙන අනුසසක් නොව බලවත් මෛත්‍රී චිත්තය ඇතියන්ට පමණක් කලාතුරකින් ලැබෙන අනුසසෙකි. මෛත්‍රියේ ඒ බලය කුමක් දැ යි තේරුම් ගැනීම අපහසු ය.
8) “තුවටං චිත්තං සමාධියති” මෛත්‍රී සහගත චිත්තය ඉතා සෞම්‍ය ය. ප්‍රණීත ය. මධුර ය. ඒ සිත නිසා ඇති වන චිත්තජ රූප ද මෛත්‍රී චිත්තය සේ ම සෞම්‍ය ය. සෞම්‍ය චිත්තජ රූපයන් ශරීරයෙහි පැතිරෙන කල්හි ධාතු කෝප සන්සිඳීමෙන් ශරීරය පිනා යන්නේ ය. ශාරීරික සුඛයක් ඒ තැනැත්තාට ඇති වන්නේ ය. එයින් මෙත් වඩන්නහු ගේ සිත ඉක්මනින් සමාධියට පැමිණෙන්නේ ය.
9) “මුඛවණ්ණෝ විප්පසීදතී” සිත හෘදය කෝෂයෙහි ඇති ලෙයෙහි පවත්නා වස්තු රූපය ඇසුරු කොට උපදින්නකි. ඉතා සෞම්‍ය වූ මෛත්‍රී චිත්තය උපදනා කල්හි ඒ සිත නිසා හෘදය කෝෂයේ ලෙය පැහැපත් වේ. ඒ ලෙය ශරීරයෙහි පැතිර යාමෙන් ද, සෞම්‍ය වූ මෛත්‍රී චිත්තයෙන් උපදනා සෞම්‍ය චිත්තජ රූප ශරීරයේ පැතිර යාමෙන් ද, මෙත්සිත් ඇතියහු ගේ මුහුණු පැහැපත් වේ. බැබලේ. කාන්තිමත් වේ.
10) “අසම්මූළ්හො කාලං කරොති” බොහෝ දෙනාට මැරෙන්නට සිදුවන්නේ සම්මෝහයෙනි. එයින් ඒ අයට තමන් කර ඇති කුශල ක්‍රියාවක් සිහි කර ගන්නට ද නො ලැබෙන්නේ ය. එය පින් ඇතියන්ට පවා දුර්ගතියට යාමට කරුණකි. මෙත් සිත බහුල වශයෙන් පවත්වන තැනැත්තාට එසේ නොවී සිහියෙන් අවසාන හුස්ම හෙළන්නට ලැබේ.
11) “උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකූපගො හොති” මෛත්‍රී සමාපත්තිය උපදවා ගත් තැනැත්තාට එය පාදක කොට රහත් වන්නට නුපුළුවන් වුවහොත් ඒ තැනත්තා එහි බලයෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකයෙහි උදපනේ ය.
බෝධිසත්වයන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් සිත වැඩීමෙන් ලත් ආනිසංසය දැක්වෙන අංගුත්තර නිකාය සත්තක නිපාතයේ එන සූත්‍රයක් මෙසේ ය:
මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං යදිදං පුඤ්ඤන්ති, අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීගරත්තං කතානං පුඤ්ඤානං, දීඝ රත්තං ඉට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙසිං, සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්ත සංවට්ට විවට්ට කප්පෙ න ඉමං ලොකං පුනරාගමාසිං, සංවට්ටමානෙ සුදාහං ලොකෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි. තත්‍රසුදා භික්ඛවෙ බ්‍රහ්මා හොමි මහා බ්‍රහ්මා, අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්ති.
ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො, අනෙකක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්ති ධම්මිකො ධම්ම රාජා චාතුරන්තො විජිතාවි ජනපදත්ථාවරියප්පත්තො සත්තරතන සමන්නාගතො. තස්ස මය්හං භික්ඛවෙ, ඉමානි සත්ත රතනානි අහෙසුං, සෙය්‍යථිදං? චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපති රතනං පරිනායකරතනමෙව සත්තමං. පරො සහස්සං ඛො පන මෙ භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරංගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගර පරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති.
තේරුම:
මහණෙනි, පින්වලට බිය නොවව්, පිනය යන මෙය සැපයට නමකි. මහණෙනි, දීර්ඝ කාලයක් කළ පින්වලින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි වින්දා වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය මම දනිමි. සත් වසක් මුළුල්ලෙහි මෙත් සිත වැඩුවෙමි. සත්වසක් මෙත් සිත් වඩා සංවර්ත විවර්ත කල්ප සතක් මුළුල්ලෙහි මේ ලෝකයට නැවත නො ආයෙමි. මම ලෝකය විනාශ වන කල්හි ආභස්සර බඹ ලොවට යෙමි. නැවත ලෝකය ඇතිවන කල්හි සිස් වූ බ්‍රහ්ම විමානයක උපදිමි. එහි මම බ්‍රහ්ම වෙමි. අන්‍යයන් විසින් යට කළ නො හෙන අන්‍යයන් යට කර ගෙන සිටින සියල්ල දක්නා වූ අන්‍යයන් කීකරු කර ගෙන සිටින්නා වූ මහා බ්‍රහ්මයෙක් වෙමි.
මහණෙනි, මම සතිස් වරක් දෙවියන්ට අධිපති වූ ශක්‍රදේව වූයෙමි. නොයෙක් වාරවල ධාර්මික වූ ධර්ම රාජ වූ සිවු දිගින් සාගරය කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ ලෝකය දිනා ගෙන සිටින්නා වූ ජනපදයන්හි ස්ථිරත්වයට පැමිණියා වූ සප්ත රත්නයෙන් යුක්ත වූ චක්‍රවර්ති රාජ වූයෙමි. ඒ රජුට මේ සප්ත රත්නයෝ වූහ. කවරහු ද? චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යයරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, සත්වෙනි වූ පරිණායක රත්නය යන මොහු ය. මහණෙනි, අධික ශූරවූ, වීර්‍ය්‍යවත් වූ පරසේනා මැඩීමෙහි සමත් වූ දහසකට අධික පුත්‍රයෝ වූහ. හේ සාගරය කෙළවර කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්මයෙන් දිනා එයට ඉසුරුව වෙසේ.