මෛත්‍රී පාරමිතාව පුරන බෝධිසත්ත්වයා විසින් පළමු කොට ම “මම ලෝකයේ කිසිවකුට සතුරු නො වෙමි ය. මම ලොව හැම දෙනා ගේ ම මිත්‍රයෙක් වෙමි ය, හිතවතෙක් වෙමිය, හැම දෙනාට ම උපකාර කාරයෙක් වෙමිය’ යි සිතා ගත යුතු ය. ලොව හැම දෙනා ම තමා මෙන් සිතිය යුතු ය. අනුන්ට වන නින්දා අලාභහානි දුක් කරදර තමාට වන ඒවා සේ සැලකිය යුතු ය. අනුන්ට අලාභයක් - හානියක් - නින්දාවක් - කරදරයක් වන කිසි ම ක්‍රියාවක් නො කළ යුතු ය. සෑම වරදක් ම ඉවසිය යුතු ය.
මේ ගුණාංගයන්හි පිහිටා “මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරිසු ආචී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච” යනුවෙන් දැක්වෙන පරිදි ඒ ඒ අය ඇති නැති සෑම තැනදී ම, අනුන් කෙරෙහි මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය. මෛත්‍රී සහගත වාක්කර්ම පැවැත්විය යුතුය. මෛත්‍රී සහගත මනඃකර්ම පැවැත්විය යුතු ය.