“මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමෙ එකාදස?
සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති. න පාපකං සුපිනං පස්සති. මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛ වණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකූපගො හොති.
මෙත්තාය භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකංඛාති”.
මෙය අංගුත්තර නිකායෙහි ඒකාදස නිපාතයේ සුත්‍රයෙකි. මෙයින් දැක්වෙන්නේ මෙත්තා චේතො විමුත්තියෙන් ලැබෙන අනුසස් එකොළොසකි. මෙත්තා චේතෝ විමුත්තිය යනු මෛත්‍රී ධ්‍යානය යි. මෛත්‍රී ධ්‍යානයෙන් ලැබෙන මේ අනුසස් වලින් දසයක් සාමාන්‍යයෙන් මෙත් වඩන තැනැත්තන්ගේ කාමාවචර කුශල මෛත්‍රියේ අනුසස් වශයෙන් ද ඒ ඒ අය ගේ මෛත්‍රී චිත්තයේ දියුණුවේ සැටි සැටියට ලැබෙන්නේ ය. අනුසස් එකළොස මෙසේ ය.
1) “සුඛං සුපති” බොහෝ දෙනා නිදන කල්හි ගොරවමින් කෙඳිරිගාමින් ඒ මේ අත පෙරළෙමින් දඟලමින් දුක සේ නිදති. මෙත් සිත් ඇති තැනැත්තේ සම වතකට සමවන් එකකු මෙන් සුව සේ නිදයි.
2) “සුඛං පටිබුජ්ඣති” බොහෝ දෙනා නින්දෙන් පිබිදෙන කල්හි ක්ලාන්ත වී ඈනුම් හරිමින් කෙඳිරි ගාමින් හොඳ සිහියෙන් තොරව දුක සේ පිබිදෙති. මෙත් වඩන තැනැත්තේ ප්‍රබෝධ වන පද්මයක් සේ විකාර රහිත්ව සුව සේ පිබිදෙයි.
3) “න පාපකං සුපිනං පස්සති” බොහෝ දෙනා සිහිනෙන් සොරුන් දැක ද, සර්පයන්, කුළු හරකුන් දැක ද බිය වෙති. තවත් නොයෙක් භයානක දේ ද දැක බිය වෙති. සමහර විට බය වී කෑ ගසති. මෙත් වඩන තැනැත්තේ එබඳු භයානක ස්වප්න නො දකිති. වෙහෙර විහාර, පෙරහැර, බණ පින්කම්, පිරිත් පින්කම් ආදි යහපත් දේ ම සිහිනෙන් දකි.
4) “මනුස්සානං පියො හොති” කරුණා මෛත්‍රියෙන් තොර නපුරු මිනිසුන් ගේ ඒ නපුරු බව ඔවුන් දක්නවුන්ට ඔවුන් ගේ මුහුණුවල සැටියෙන් ම පෙනේ. එබැවින් ඔවුහු මිනිස්නට අප්‍රිය වෙති. මෙත් සිත ඇති පින්වතා ගේ සෞම්‍යත්ය ද ඔහු ගේ මුහුණෙන් පෙනේ. එබැවින් මෙත් වඩන තැනැත්තා රෝසමල් පොකුරක් සේ, පියුමක් සේ, මුතුහරක් සේ මිනිස්නට ප්‍රිය වේ.
5) “අමනුස්සානං පියො හොති” මෙත් වඩන තැනැත්තේ මිනිස්නට පමණක් නොව විශාක තෙරුන් වහන්සේ මෙන් දෙවියන්ට ද ප්‍රිය වේ. විශාඛ තෙරුන් වහන්සේ ගේ කථාව මෙසේ ය:-