මෛත්‍රී සහගත කාය කර්මයෙන් අනුන්ට යහපත සිදු කරන්නාක් මෙන් ද, හොඳ නරක කියා දීම්, නො යෙක් වැඩවලට උපදෙස් දීම් ආදියෙන් වචනයෙන් අනුන් ගේ යහපත සිදු කරන්නාක් මෙන් ද, කය වචන දෙක උපයෝගී කර නො ගෙන සිතින් පමණක් අනුන්ට යහපත සිදු කිරීම මෛත්‍රී භාවනාව ය.
ධ්‍යාන වසා අභිඥා උපදවා ගත් යෝගාවචරයන්ගේ අභිඥා චිත්තයෙහි නොයෙක් දේ සිදු කළ හැකි මහා බලයක් ඇත්තේ ය. යම් කිසි ක්‍රමයකින් බලය ඇති නො කරන ලද දියුණු නො කළ සාමාන්‍ය ජනයා ගේ සිත්හි කය උපයෝගී කර නො ගෙන ඉටිපන්දමක් නිවීමට, පුළුන් රොදක් සෙලවීමට තරම් ශක්තියකුදු නැත. මෛත්‍රී භාවනා කරමි යි කියා “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’යි කොතෙක් කීවත්, කොතෙක් සිතුවත්, එයින් කිසිවකු සුවපත් නො වෙත හොත් කාහටවත් එයින් යහපතක් සිදු නො වෙත හොත්, ඒ භාවනාවේ ඇති වටිනා කමක් නැත.
භාවනාව වටිනා කමක් ඇති සත්‍ය මෛත්‍රී භාවනාවක් වන්නට නම්, එය අනුන් සුවපත් වන සැටියට ම කළ යුතු ය. සාමාන්‍ය ජනයා ගේ දුබල සිතින් සර්වාකාරයෙන් අන්‍යයන් සුවපත් කළ නො හැකි වතුදු යම් යම් ආකාරවලින් එක්තරා ප්‍රමාණයකින් අනුන් සුවපත් කළ හැකි ය. එය කළ හැකි වන්නේ ද සිතින් අනුන්ට ලබා දිය හැකි සුවයත්, එය ලබා දිය හැකි ආකාරයත් දැනගෙන ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව කරන පින්වතාට පමණකි.
සුවය අනේකාකාර වේ. ධනය ඇති බවත් සුවයෙකි. ගරු බුහුමන් ලැබීමත් සුවයෙකි. ප්‍රශංසා ලැබීමත් සුවයෙකි. ප්‍රිය වස්තු දැකීමත් සුවයෙකි. ප්‍රිය ශබ්ද ඇසීමත් සුවයෙකි. ප්‍රිය ගන්ධ ආඝ්‍රාණයත් සුවයෙකි. මිහිරි රස වැළඳීමත් සුවයෙකි. හොඳ පහස් ලැබීමත් සුවයෙකි. නෑයන් මිතුරන් ඇති බවත් සුවයෙකි. නීරෝගී බවත් සුවයෙකි. වෛර නැති බවත් සුවයෙකි. සතුරන් නැති බවත් සුවයෙකි. සතුරු උවදුරු නැති බවත් සුවයෙකි.
මෙසේ ඇත්තා වූ අනේකප්‍රකාර සැප සියල්ල ම තමා ගේ සිතින් තවත් අයට ලබා දිය හැක්කේ නො වේ. “දුප්පතෙක් පොහොසත් වේවා” යි අවුරුදු ගණක් සිතුවේ වී නමුත් එයින් දුප්පතා පොහොසත් නොවේ. මෙසේ සැපයන් ගෙන් බොහෝවක් තවත් කෙනකුට කෙනකු ගේ සිතින් පමණක් ඇති කළ නො හෙන ඒවා ය. වෛර නැති බව, සතුරන් නැති බව, සතුරු උවදුරු නැති බව යන මේ සැප තුන තමා ගේ සිතින් ද එක්තරා ප්‍රමාණයකින් අනුන්ට ලබාදිය හැකිය. මඳක් සිත දියුණු කර ගත් අයට නිරෝගී බව ආදී තවත් සැප ද චිත්ත බලයෙන් තරමක් දුරට අනුන්ට ඇති කර දිය හැකි ය.
සත්ත්වයන්ගේ සිත් නිසා ගස්වැල් ආදී ද්‍රව්‍යවල යම් කිසි වෙනසක් සිදු නො වතුදු එක් අයකුගේ සිත නිසා තවත් අයකු ගේ සිතෙහි වෙනස්කම් සිදුවන බව ලෝ තතු නුවණින් කලක් විමසුව හොත් තේරුම් ගතහැකි වනු ඇත. යම් පෙදෙසක වෙසෙන මිනිසුන් තුළ යම් බඳු සිතක් බොහෝ සෙයින් ඇති වේ නම් ඒ පෙදෙසට පැමිණෙන අන්‍යයන් කෙරෙහි ද එබඳු සිත් ඇති වේ. යම් පෙදෙසක වෙසෙන මිනිසුන් යමක් හොඳය කියා හෝ නරකය කියා හෝ ලස්සනය කියා හෝ කැතය කියා හෝ සලකනවා නම්, ඒ පෙදෙසට පසුව පැමිණෙන තැනැත්තාට ද ක්‍රමයෙන් ඒ අදහස් ම ඇති වේ. එයට හේතුව අදහස් බෝ වීම ය. යම් කිසි අදහසක් අනුන්ගේ සිත්වලටත් බෝ කළ හැකි ශක්තියක් සිතට ඇත්තේ ය.
එක් අයෙකු කෙරෙහි බලවත් ව ඇති වන්නා වූ ද බොහෝ සෙයින් ඇති වන්නා වූ ද සිතක් වේ නම් ඔහුට සමීපව වෙසෙන අන්‍යයන්ට ද එබඳු සිතක් ඇති වේ. එබැවින් තමා යම් කිසි සිතක් තදින් ඇති කර ගෙන ඒ සිත අනුන්ට ද බෝකළ හැකි ය. යම් කිසි අදහසක් ඇති කර ගෙන අනුන්ට ද එය බෝ කළ හැකිය. ශාරීරික රෝග ශරීරවලට බෝ වන්නාක් මෙන් සිත්වල ඇති වන ගුණාගුණ සිත්වලට බෝ වී යාම තේරුම් ගත යුතු ය. මෛත්‍රී භාවනාවෙන් අන්‍යයන්ට සැප ඇති කළ හැක්කේ අදහස් බෝ කිරීම් වශයෙනි.
මෛත්‍රී භාවනාව බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද්දක් ය, බොහෝ අනුසස් ඇතියක් ය, ඒ නිසා මම ද එය කරමි” යි මෛත්‍රී වඩන තැනැත්තා ගේ ඒ මෙත් වැඩීම පරාර්ථය ප්‍රධාන කරගෙන කරන්නක් නොව ආත්මාර්ථය ප්‍රධාන කරගෙන කරන්නකි. එබැවින් එය අවංක මෛත්‍රියක් නොවේ. එය මෛත්‍රියක් වුව ද අබල දුබල මෛත්‍රියකි. මෙත් වැඩීමෙන් තමා ලබන අනුසස් අපේක්ෂා නො කොට “සිතෙන්වත් මා අන්‍යයන් සුවපත් කරවන්නට ඕනෑය” යන අදහස පෙරදැරි කරගෙන මෙත් වඩන තැනැත්තා ගේ භාවනාව ම අවංක මෛත්‍රී භාවනාව වේ. අනුන් සුවපත් කළ හැක්කේ ඒ අවංක මෛත්‍රී භාවනාවෙනි.
බොහෝ දෙනා තමාට පින් ලබා ගැනීමේ අදහසින් මෛත්‍රීයේ අනුසස් තමන් ලබා ගැනීමේ අදහසින් භාවනා කරමු යි “සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” යි කියති. සිතති. එයින් සත්‍ය වශයෙන් අන්‍යයෝ පොහොසත් වී නිරෝගී වී සුවපත් වන්නාහු නම් මුදලක් ගෙවා කරවාගත හොත් මිස නිකම් නම් ඔවුහු නො කරන්නාහ. ඔවුන් නො මිලයේ එසේ කරන්නේ අන්‍යයන්ට නොව තමන්ට යම්කිසි අනුසසක් ලැබේය යන අදහසිනි. එසේ ආත්මාර්ථය පිණිස කරන මෛත්‍රිය උසස් මෛත්‍රිය නොවේ. උසස් මෛත්‍රිය වන්නේ, අවංක මෛත්‍රිය වන්නේ, අනුන් සුවපත් කිරීමට සමර්ථ වන්නේ, ආත්මාර්ථය නො තකා පාරාර්ථය ම සලකා වඩන මෛත්‍රිය ය.
මෛත්‍රී භාවනාව කරන පින්වතා “මා විසින් අන්‍යයන් සුවපත් කළ යුතු ය, එහෙත් අන්‍යයන්ට ආහාරපාන - වස්ත්‍ර - වාසස්ථානාදිය සපයා ඔවුන් සුවපත් කිරීමට, මම අපොහොසත් වෙමි. මම සුබ පැතීම් වශයෙන් වත් ඔවුනට උපකාර වන්නෙමි” යි සලකා මෙත්වැඩීම පටන් ගත යුතු ය. මෙත් වැඩීම නම් සත්ත්වයන්ට ශුභ ප්‍රාර්ථනා කිරීම යි. හිතය හා සුඛය පැමිණිමේ ප්‍රාර්ථනය ය, අහිතය හා දුඃඛය නො පැමිණීමේ ප්‍රාර්ථනය යි මෛත්‍රී භාවනාවට අයත් ප්‍රාර්ථනය දෙ වැදැරුම් වේ.
සත්ත්වයෝ සුවපත් වෙත්වා යනු සැපය පැමිණීමේ ප්‍රාර්ථනයයි. සත්ත්වයෝ සුවපත් වෙත්වා යි මෙත් වැඩීම් වශයෙන් පැතීමෙන් අන්‍ය සත්ත්වයන් සැපයට පැමිණෙන සැටි අන්‍ය සත්ත්වයන් කරා සැපය එන හැටි මෙත් වඩන්නා විසින් දැන ගත යුතු ය. යම්කිසි සත්ත්ව සමූහයක් ලක් කොට මේ සත්ත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා යි මෙත් වඩනා කල්හි ඒ ආනුභාවයෙන් ඒ සත්ත්වයන් කරා ධනය ගලා ඒමක් හෝ නිකම්ම ඒ සත්ත්වයන් ගේ සිත කය පිනා යාමක් හෝ වී ඒ සත්ත්වයෝ සුවපත් නො වෙති. යම් කිසිවකු අන්‍ය සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යි මෙත් වඩා නම්, ඔහු ගේ ඒ මෛත්‍රී චිත්තය එයට ලක්වන සත්ත්වයන්ගේ සිත හා නැවත ගැටීමෙන් ඔවුන් කෙරෙහි ද ඔවුන්ට නො දැන ම සත්ත්වයෝ සුවපත් වෙත්වා යන මෛත්‍රී අධ්‍යාශය ඇති වේ.
එයින් ඔවුන් ගේ සන්තානවල පවත්නා වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා තුනී වේ. සමහර වෛර සම්පූර්ණයෙන් ම ද දුරු වේ. වෛරයක් ඇති බවත් දුකෙකි. ක්‍රෝධ ඊර්‍ෂ්‍යා ඇති බවත් දුකෙකි. ඒ දුක් නැති බව සුවයෙකි. සුවපත් වෙත්වා යි මෙත් වැඩීමෙන් අන්‍යයන්ට ලබා දිය හැක්කේ ඒ වෛර - ක්‍රෝධ - නැති බව වූ සුවය ය.
සත්ත්වයෝ සුවපත් වෙත්වා යි මෙත් වඩන තැනැත්තා විසින් නියමයක් නැති සුවයක් හෝ හැම සුවය ම හෝ අන්‍ය සත්ත්වයන්ට ම ලැබෙන අදහසක් ඇති කර නොගෙන, මෛත්‍රී බලයෙන් ලබා දිය හැකි වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා නැති බව වූ සුවය ලබා දීමේ අදහසින් සුවපත් වෙත්වා යි මෙත් වඩිය යුතු ය. සිදු නො වන බව පෙනි පෙනී සිදු නො වන දෙයක් වේවා යි අවංක ව එය සිදු කර දීමේ අදහසින් නො පැතිය හැකිය. සිදු නො වන බව දැන දැන ම සිදු නො වන දෙයක් පැතීම සත්ත්වයනට සැප ලබා දීමේ ව්‍යායාමයක් නො වන බැවින් ඒ මෛත්‍රිය සැබෑ මෛත්‍රියක් වශයෙන් ගණන් ගැනීමට ද දුෂ්කර ය.
“නිදුක් වෙත්වා” යන ප්‍රාර්ථනය ය, අහිතය - දුඃඛය නො පැමිණීමේ ප්‍රාර්ථනය ය. මෙත් වඩන්නහු ගේ නිදුක් වෙත්වා යන ප්‍රාර්ථනයෙන් ද බලාපොරොත්තු විය යුත්තේ සත්ත්වයන් කරා හැම දුකක් ම පැමිණෙන්නට නො දීමක් නොව, වෛර - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යා ඇතිකමින් වන දුක්වලින් සත්ත්වයන් රැකීම ය. එයින් සිදු කළ හැක්කේ එපමණෙකි. නිදුක් වෙත්වා යි මෙත් වැඩීමෙන් ජාති දුක් - ජරා දුක් - මරණ දුක් ආදියෙන් සත්ත්වයෝ නො මිදෙන්නා හ.
මෙත් බවුනෙහි දී භාවිත කරන “නිරෝගී වෙත්වා” යන පැතුමත් බොහෝ සත්ත්වයන් ලක් කොට කිරීමේ දී සඵල නො වේ. එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් ස්වල්ප දෙනකු හෝ අරභයා “නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා’යි මෙත් වැඩුව හොත් එයින් රෝගීන්ට ගුණ ලැබේ. සමහර රෝග සම්පූර්ණයෙන් ම ද සුව වේ. සකල සත්ත්වයන්ට මෙත් වැඩීම දැක්වීමේ දී මෛත්‍රී සූත්‍රයෙහි හා පටිසම්භිදා මග්ග, විසුද්ධි මග්ගයන්හි ද නිරෝගී වෙත්වා යන ප්‍රාර්ථනය ඇතුළු කොට නැත.
මෛත්‍රී සූත්‍රයෙහි “සුඛිනො වා ඛෙමිනො හොන්තු” යනාදීන් සුවපත් වීමේ පැතීම මුල් කොට මෛත්‍රී භාවනාව උගන්වා තිබේ. විශුද්ධිමාර්ගයෙහි “අවෙරා හොන්තු” යන ප්‍රාර්ථනය මුල් කොටමෛත්‍රී භාවනාව උගන්වා තිබේ. ඒ දෙකින් - මෙත් වැඩීමෙන් අනුන්ට සිදුකර දිය හැකි යහපත දෙස බලා මෙත් වැඩීමේදී “අවේරා හොන්තු” යන ප්‍රාර්ථනය ම වඩා සුදුසු බව කිය යුතු ය. එහෙත් සුවපත් වෙත්වා යන ප්‍රාර්ථනයට බොහෝ දෙනා ඉතා කැමැත්තෝ ය. මෛත්‍රී සූත්‍රයෙහි එය මුල් කොට මෙත් වැඩීම උගන්වා ඇත්තේ එහෙයිනැ යි සිතමු.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා” යි මෙත් වැඩීමේ ක්‍රමය වර්තමාන බෞද්ධයන් අතර ප්‍රචාරය වී ඇතත් ඒ ක්‍රමය යම් කිසි බුද්ධ දේශනයක හෝ විසුද්ධිමග්ගාදියෙහි හෝ දක්නට නැත. එය කෙසේ පුරුදු වූවක් දැයි නො දනිමු. සුවපත් වේවා යි මෙත් වැඩීමට වැඩිදෙනා කැමති බැවින් එය මුල් කොට භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. මෙය පාඩම් කරගෙන භාවනා කිරීමෙන් මෛත්‍රී පාරමිතාව පුරුදු කළ හැකිය.