පෙර එක් කලෙක මහ බෝසතාණන් වහන්සේ කසීරට බරණැස් නුවර “ඒකරාජ” නමින් රජ වූහ. ඒ රජ්ජුරුවෝ දන්සැල් සයක් කරවා බොහෝ ධනය වියදම් කොට ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දිනපතා මහ දන් දෙති. නිති සිල් රකිති. පෙහෙවස් වෙසෙති. ඉවසීමෙන් හා කරුණා මෛත්‍රියෙන් දරුවන් නළවන්නාක් මෙන් ජනයා සතුටු කරවමින් දැහැමින් රජය කෙරෙති. සොරුන්ට පවා දඬුවම් නො දෙති. ඒ රජ්ජුරුවෝ අන්තඃපුරයෙහි දූෂිත ක්‍රියාවක් කොට හසු වූ ඇමතියකු රටින් නෙරපා දැමූහ.
ඒ දුෂ්ට ඇමතියා කොසොල් රට දබ්බසේන රජු වෙතට ගොස් ඔහුට සේවය කොට අනුක්‍රමයෙන් ඔහු හා විශ්වාසයට පැමිණ බරණැස් රජුගෙන් පලිගන්නට සිතා “දේවයන් වහන්ස, බරණැස් රජය මැස්සන් නැති මීවදයක් බඳුය. දැන් ඉන්නා රජ ඉතා මෘදුය, නුඹ වහන්සේට ලෙහෙසියෙන් ම එය අත්පත් කර ගත හැකිය’යි දබ්බසේන රජුට කීය. බරණැස් රජයේ බලය දන්නා දබ්බසේන රජු එපමණකින් ම ඔහුගේ කීම විශ්වාස නොකොට තවත් මිනිසුන් යවා පරීක්ෂා කරවා බරණැස් රජාණෝ සොරුන්ට පවා දඬුවම් නො කරන ඉතාම මෘදු කෙනකු බව ස්ථීර වශයෙන් ම දැන, ඒ රජය ගනු පිණිස සේනාව සමග පිටත් වී ය.
බරණැස් නුවර ද එපවත් සැලවීය. එකල්හි බෝසතාණන් වහන්සේ ගේ මහා යෝධයෝ තමන් ගේ රජ්ජුරුවන් වෙත ගොස් “දේවයන් වහන්ස, නුඹ වහන්සේට විරුද්ධව දබ්බසේන රජු සේනාව ගෙන නික්මුණෝය’ යි කියති. අපි එහි ගොස් මේ රටට ඇතුළු වන්නට කලින් ම ඔහු අල්ලාගෙන එමු” යයි කීහ.
මහ බෝසතාණන් වහන්සේ “මා නිසා අනුන්ට පීඩා කිරීමක් නැත’ය යි යෝධයන් වැළැක්වූහ. දබ්බසේන කාසි රටට ඇතුළු වූ පසු ද, යෝධයෝ බෝසතාණන් වහන්සේට එසේ ම සැල කළහ. බෝසතාණන් වහන්සේ පෙර සේ ම ඔවුන් වැළැක්වූහ. දබ්බසේන ගොස් බරණැස් නුවරින් පිටත සිට “රජය හෝ දෙනු, යුද්ධයට හෝ එනු” යයි බෝසතාණන් වහන්සේට හස්නක් යැවීය. බෝසතාණන් වහන්සේ “මාගේ යුද්ධයක් නැත. රාජ්‍යය ගනුව’යි පිළිතුරු යැවූහ. බෝසතාණන් වහන්සේ ගේ මහා යෝධයෝ තුන්වන වර ද “දේවයන් වහන්ස, දබ්බසේනට මේ නුවරට ඇතුළු වන්නට ඉඩ නො දෙමු ය, නගරයෙන් පිටතදී ම තළා ඔහු අල්ලා ගනිමු ය’යි කීහ.
මහ බෝසතාණන් වහන්සේ පෙර සේ ම ඔවුන් වළක්වා නගරද්වාරයන් හැර දමවා උඩු මහල් තලයේ රාජාසනයෙහි වැඩහුන් සේක. දබ්බසේන සේනාව හා නගරයට පිවිස එක සතුරකුදු නො දැක ලෙහෙසියෙන් ම මුළු නගරය අත් පත්කොට ගෙන රජ මැදුරට ගොස් නිරපරාධී බෝසතාණන් වහන්සේ ගෙන්වා ගෙල දක්වා පෙළොවෙහි වළ ලැවීය.
බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ ගේ රාජ්‍යය ද පැහැර ගෙන තමන් වහන්සේ පොළොවෙහි ද වළ ලැවූ සොර රජු ප්‍රිය පුත්‍රයකු මෙන් සිතුවා මිස ඔහුට නපුරක් නො සිතූහ. උන් වහන්සේ දුෂ්ට රජුට මෙත් කොට, ඉක්බිති කිසුණු පිරියම් කොට ධ්‍යානාහිඥා උපදවා වළෙන් නැගී අහසෙහි වැඩ හුන් සේක. සොර රජුගේ ඇඟ ගිනි ගන්නාක් මෙන් දැවෙන්නට විය. හේ බිම පෙරළෙමින් කෑගසන්නට විය. “මේ කිමෙක් දැ”යි සෙස්සන්ගෙන් ඇසූ කල්හි “දේවයන් වහන්ස, නුඹ වහන්සේ නිරපරාධී ධාර්මික රජතුමකුට අපරාධ කළාහු ය’යි ඔවුහු කීහ. “එසේ නම් වහා ගොස් රජු ගොඩ ගනිව් ය’යි සතුරු රජු කීය. රාජ පුරුෂයෝ එහි ගිය කල්හි බෝසතාණන් වහන්සේ වළෙන් ගොඩ නැඟී අහසෙහි වැඩ හිඳිනු දැක වහා ගොස් ඒ බව දබ්බසේන රජුට කීහ.
හේ වහා බෝසතාණන් වහන්සේ වෙත ගොස් වැඳ, සමාව ගෙන “නුඹ වහන්සේ ගේ රාජ්‍යය නුඹ වහන්සේ ම කරවන සේක්වා. මම මෙතැන් පටන් නුඹ වහන්සේ ගේ රජය සොරුන් ගෙන් ද ආරක්ෂා කරමි”යි කියා දුෂ්ට ඇමතියාට රජ අණ කරවා ගියේය. බෝසතාණන් වහන්සේ ද රජය ඇමතියන්ට භාර කොට පැවිදිව මහජනයා ශීලාදි ගුණයන්හි පිහිටුවමින් ලෝ වැඩ කොට ආයු කෙළවර බඹලොව උපන්හ. (මේ කථාව ජාතක අටුවාවෙහි මෙයට මඳක් වෙනස් අයුරකින් ඇත්තේ ය. මෙහි දක්වන ලදුයේ චරියාපිටක අටුවාවෙහි සැටියට ය.)