මහාභිනිෂ්ක්‍රමණය

star_outline

යශෝධරාවෝ “ළඟදී ම ස්වාමි දරුවෝ නික්ම යති. කවරදාක හෝ නික්ම යතොත් තමාට කියා ම යති යි ටික කලකට පසු මමත් කෙසේ හෝ උන් වහන්සේ අනුව යමි” යන ආදීන් සිතා සැනැසෙන්නට උත්සාහ කරන්නී සිය ඕවරයකට ගොස් නිදාගත්හ. බෝසතාණෝ ද කල්පනායෙහි නිමග්න ව තම යහනෙහි හොත්හ. මේ වෙලාවේ පෙර දිනවල සේම නාටිකාවෝ රැස්ව ඔබ ඉදිරියේ නැටුම් ගැයුම් ඇරඹූහ. බෝසතාණෝ ඒ කිසිත් නොසලකා සිත සිතා හොත්තාහු නින්දට බටහ. එය දුටු නාටිකාවෝ ‘සාමිදරුවෝ නින්දට බටහ. අපේ ක්‍රීඩාවලින් වැඩෙක් නැතැ’යි කියා තුමූ ද තමන්ගේ වාද්‍ය භාණ්ඩ ඒ ඒ තැන තබා එහි ම නිදා ගත්හ. මැදුම් රැයෙහි බෝසතාණෝ නින්දෙන් පිබිදියාහ. යහනෙහිම හිඳ අවට බැලූහ. නිදන නාටිකාවන් ගේ විප්‍රකාරය දුටුහ. කෙනෙක් මුව අයා ගොරවති. කෙනෙක් කට දෙකොණින් කුණු කෙල වගුරුවති. කෙනෙක් සිහිනෙන් නන්දොඩති. කෙනෙක් වැළැපෙති, කෙනෙක් නිරුවත් වැ හෙති, කෙනෙක් අවුල් වැ විසිරැ ගිය කෙහෙ ඇතියෝ වෙති. ඔවුන් දුටු බෝසතාණනට තමා මළ කඳන්, රැසක් මැද ඉඳින්නකු සේ හැඟිණ. ටික වෙලාවකට කලින් දෙවඟනන් පිරි දෙව් විමනක් බඳු වැ පෙනුණු මේ මැදුර දැන් මළ කඳන්, පිරුනු තැනක් බඳු යැ’ යි සිතිණ. මෙය සිතත් සිතත් ම ගිහිගෙය කෙරෙහි කලකිරීම වැඩි විය. ගිහි සැප යනු මිරිඟුවක් වැනි බව පෙනිණ. නික්මැ යෑ යුතු අවස්ථාව සලකන්නාහු, අවට විමසා බලා සදිනක් තිස්සේ ම නිදිවරා වෙහෙස පත් සියල්ලන් ම පාහේ තද නින්දට වැටී හෝනා නියාව දැන ගත්හ. දැන් පිටත් වන්නට වේලාව යැයි සැලැකූහ. යශෝධරාවනට කථා කොට පුතු ද වඩාගෙන සිඹ සනසා එයට පසු ප්‍රාසාදයෙන් බැස්ස යුතු යැයි සිතා ඇය නිදන ඕවරකය දෙසට පිය තැබූහ. එහි දොර ළගට ම ගොස් දොර හැර තිරය ඔසොවා ඇතුළත බලන්නාහු, කාන්ත වූ මෘදු පහන් එළියෙන් අඳුරු දුරු වැ ගිය, පහනෙහි දැවෙන සුවඳ තෙලින් සුවඳවත් වූ සිරියහන් ගබඩායෙහි සමන් මල් අමුණක් අතුළ යහනෙහි රහල් කුමරු මෙහි හොවා නිදන යශෝධරාවන් දුටුහ. “ඇතුළට ගොස් ඇය පුබුදුවාලුවොත් ගමනට බාදා වියැ හැක්ක. දැන්ම නොයන්නැ”යි ඇය ඇවිටිලි කරනු ඇත. පසු වැ අවුත් මොවුන් දක්නෙම් වේ ද! දැන් නිහඬ වැ නික්ම යෑ යුතු යැ”යි සිතාගත්හ. මෙසේ සිතා අඹුදරු ආදීන් කෙරෙහි ඇති සසිම ප්‍රේමයට මුළු ලොවැසි සියලු සතුන් කෙරෙහි හටගත් මහා දයාව මාරු කොට, ජරා මරණාදී නොපමණ දුකින් පෙළෙන ලෝකයට පිහිට වෙමි’යි උපන් මහා කරුණාව පෙර දැරිකොට ගත්තාහු, ලෙහෙසියෙන් ම පය එළිපත්තෙන් පිටතට ඇද ගත්හ. මෙසේ නික්ම ප්‍රාසාදයේ උඩු මහලෙන් බැස තරප්පුව පාමුල නිදන ඡන්නයා පිබිදැවූහ. “ඡන්නය, කන්තක අසු සරසා ගෙනෙන් නැ” යි කීහ. “ස්වාමීනී, මේ මැදුම් රෑ කොහි යන්නට දැ?”යි ඡන්නයා ඇසී ය. ‘මම පැවිදි වන්නට ගිහි ගෙන් නික්මෙමි’යි බෝසතාණෝ වදාළහ. “ස්වාමීනි, මේ මාපිය නෑදෑ පිරිස් හැර දමා, කොහි වඩින්න ද? එසේ නොම වඩින්න ස්වාමීනි”යි ඡන්නයා අඬන්නට වන. බෝසතාණෝ නොයෙක් සැටියෙන් කරුණු කියා ඡන්නයා කැමැති කරවාගත්හ. එසේ වුවද හේ ගමනට සැරසෙන අතර ම යශෝධරාවනට ඇසෙන මානයට ගොස් ඇය පුබුදුවන්නට මහ හඬක් පවත්වා පෙරළා ආයේ ය. එහෙත් ඕ නොම පිබිදුණා ය. ඉක්බිති හේ කන්තක අසු සරහ ගෙනායේ ය. බෝසතාණෝ අසුගේ හිස මුහුණ අත ගා ආදරය දක්වා ඌ පිට නැගුනාහ. ඡන්නයා ද පිටු පසැ ඉඳුවා ගත්හ. ගමන ඇරඹූහ. නැගෙනහිර වාසල් දොරකඩ වෙත ගිය බෝසතාණෝ එහි නිදාහොත් පිය රජු දැක, පියාණන් කෙරෙහි තමන් තුළ වූ දැඩි ප්‍රේමය නිසා නැංග ප්‍රිය විප්‍රයෝග දුක ඉතා අමාරුවෙන් මැඩ ගෙන, “පියාණන් වහන්ස, මට අවසර යි. මම නික්ම යමි. මගේ අභිමතාර්ථය සපුරා ගෙන ඔබ වෙත එන්නෙමි” යි ආචාර පවත්වා දොර හැරැගෙන එතැනින් නික්මුණාහ. වැඩි දුරක් නොයා දීම මාහානාම කුමරු හමු විය. හෙතෙම “ඔබට සක්විති රජබව ලැබෙනුයේ සෙට ය, එ බැවින් නොයන්න” යන ආදීන් නොයෙක් සැටියෙන් කන්නලවු කෙළේ ය.[1] බෝසතාණෝ ඒ කිසිත් නොතකා ඉදිරියට ම ගියාහු ශාක්‍යදේශය ද පසු කළාහ. ක්‍රමයෙන් කෝලිය රට ද ඉක් මැ මෙසේ දොළොස් යොදුන් මඟ[2] ගෙවා මල්ල රටට පැමිණ පසු දිනට එළිය වැටීගෙන එන වේලෙහි අනෝමා නදී තීරයට පැමිණියහ. අසු පිටින් නො බැස ම නදියෙන් එගොඩ ව ගියහ. එහි සුදු වැලිතලායෙහි දී අසු පිටින් බිමට බැස්සාහ. ඉක්බිති ටික වේලාවක් එහි වැල්ලේ හිඳ ගමන් වෙහෙස නිවා ගෙන මුහුණ අත්පා සෝදා ගත්හ. එයට පසු දකුණතින් කඩුව ද වමතින් කෙස් වැටිය ද ගෙන එය සිඳ අහසට දැමූහ. එය එයින් ම නොපෙනී ගියේ ය.[3]27 බෝසතාණන් වහන්සේ තමන් ගේ වස්ත්‍ර ම තවුසකු ගේ නියායෙන් හැඳ පෙරෙවැ අතීත බුදුවරුන් සිහිකොට දොහොත් මුදුන් තබා වැඳ ආජීවාෂ්ටමක ශීලය28 සමාදන් වැ ගත්හ. මෙසේ තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. ඉක්බිති තමන් හැඳ පැළඳ තුබුණු සැට්ට හා ආභරණ ඡන්නයාට පැවරූහ. මෙ විට “ස්වාමීනී, මමත් පැවිදි වෙමි” යි ඡන්නයා සැළ කෙළේ ය. “ඡන්නයිනි, ඔබ දැන් ම පැවිදි වනු නො යෙදෙයි. පියාණන් වහන්සේත් කුඩා මෑණියන් වහන්සේ යශෝධරාවෝත් නන්ද කුමාරයෝත් සෙසු නෑයෝත් මා පැවිදි වූ බව නො දනිති. එබැවින් අශ්වයාත් මේ ආභරණාදියත් රැගෙන නුඹ දැන් කිඹුල්වත් පුරයටම යන්න. ගොස් මේවා බාර දී මපියාණන් වහන්සේටත් සෙසු අයටත් මා පැවිදි වූ නියාව සැළ කරන්න. තව කලක් ගිය තැන නුඹ ද පැවිදි කැරැ ගන්නෙමි, දැන් පිටත් ව යන්නැ”යි බෝසතාණෝ වදාළහ. මේ වේලෙහි කන්තක අසු සිය ආදරණීය ස්වාමියා ගෙන් තමා වෙන් වන අවස්ථාව එළැඹී ඇති බව හැඟීමෙන් සෙනෙහබර සිතින් බෝසතාණන්ගේ සිරිපා ලෙවකමින් සෞම්‍ය බැල්මෙන් ඔබ දෙස බලා ගෙන ම හුන්නේ ය. බෝසතාණෝ ද ඔවුනට සමු දී එතැනින් පිටත් ව ගියහ. අස් තෙම එසේ වඩනා බෝසතාණන් දෙස ඇසි පිය නොහෙළා කඳුළු පිරි ඇසින් බලා ගෙන ම සිටියේ, ඔබ නො පෙනී ගිය පසු ප්‍රිය විප්‍රයෝග දුක ඉවසාගත නොහී ළය පැළී එහි ම මැරී වැටුණේ ය.29 (හේ තව්තිසාහි දෙව්පුතෙක් වැ උපන.)

ඡන්නයා අශ්වයාගේ මළ සිරුරට කළ යුතු සත්කාර කොට හඬමින් වැලැපෙමින් කිඹුල්වත අතට නික්ම ගියේ ය.

බෝසතාණන් වහන්සේ ද අනෝමා තීරයෙන් පිටත් ව වඩනාහු, වැඩි දුරක් නො ගියාහු ම තමන් ඉදිරියෙන් එන වැද්දකු30 දුටුහ. හේ ළගට ම ආයේ ය. දුනුහී ඇති වැ සිටි නුමුදු ඔහු පිටැ එල්ලෙන පසුම්බියක් සහිත පාත්‍රයෙක් විය. ඔහු හිසැ තබා ගත් බඩු පොට්ටනියෙක් ද විය. බෝසතාණන් වහන්සේ පාත්‍රය දැක විමසුම් සහිත වූහ. “ඔබ හිසැ පොට්ටනියේ කිමෙක් ඇද්ද?” යි විචාළාහ. හේ පොට්ටනිය බිම තබා ලිහා පෙන්වීය. එහි සිවුරු පිරිකර ය. “මේවා කොහි ගෙනයවු දැ?” යි බෝසතාණෝ පුළුවුත්හ. “මෙය ඕනෑ කරන පැවිදි කෙනෙකුට දෙන්නට ගෙන යමි. මෙය රුක් බෙනයක තිබී ලදිමි” යි වැදි කී ය. “මම පැවිද්දෙකිමි. ඔය සිවුරු හා පාත්‍රය මට දෙන්න, මගේ මේ කශී වස්ත්‍ර නුඹ ගන්නැ” යි බෝසතාණෝ වදාළාහ. හේ ඒ බස පිළිගෙන තමා ගෙනා පැවිදි පිරිකර බෝසතාණන් වහන්සේ ට පිළිගැන්වී ය. බෝසතාණෝ ඒවා හැඳ පෙරැවා පාත්‍රය ද උරේ එල්ලා ගත්හ.[4] තමන් එතෙක් දැරූ කශී වස්ත්‍ර වැද්දා අත තැබූහ. හේ ද ඒවා රැගෙන කිඹුල්වත අතට ම නික්ම ගියේ ය.

බෝසත් තවුසාණන් වහන්සේ ද සමීපයේ වූ අඹවනයක් දැක එහි වැඩියාහ. මේ මල්ලරටැ මායිම් වූ අනුපිය නම් නුවර සමීපයේ වූ අඹවනය ය..

අනු මාතෘකා
keyboard_arrow_rightබිලි පූජා නැවැත්වීමstar_outline
keyboard_arrow_rightඋද්‍රකයා වෙත යෑමstar_outline
keyboard_arrow_rightභාවනා වැඩීමstar_outline
keyboard_arrow_rightපවත්තඵල භෝජී වීමstar_outline
keyboard_arrow_rightකෙලෙස් තවන ව්‍රතයක්star_outline
keyboard_arrow_rightමරහුගේ දයාවක්star_outline
keyboard_arrow_rightමරුට තර්ජනය කිරීමstar_outline
keyboard_arrow_rightදස මරසෙන්star_outline
keyboard_arrow_rightවිතර්ක විමැසීමstar_outline
  1. පාලි අටුවාහි වසවත් මරදෙව්පුතු අවුත් ගමන වළක්වාලන්නට කළ කථාව ලෙස අන්‍යාලාපයෙන් සඳහන්කොට ඇත්තේ මේ මහානාම කුමරුගේ උත්සාහය වියැ යුතු ය. පැවිදිගුණදහම් වඩන්නවුනට කෙනකු විරුද්ධ වනුයේ මාරාවේශයෙනි යි ථෙරවාදීන් පවා පිළිගත් අදහසෙකි.

  2. පාලි අටුවාහි තිස්යොදුන් මඟ ඉක්මැ ගියහ යි සඳහන් ව ඇතත් කිඹුල්වත් පෙදෙසැ සිට අද අඋමි නමින් හැඳින්වෙන අනෝමාව තෙක් දුර මයිල සැත්තෑවකට වඩා නැත. සකුබොදු පොත්හි දැක්වෙන දොළොස් යොදුන් කථාව හරි බව හැඟේ. යොදුන යනු එක්කලෙක මයිල පහකුත් ස්වල්පයක් පමණ දුරෙක් ව බැවහර විය

  3. සක්දෙවිඳු ඒවා රුවන් කරඬුවෙකින් ගෙන ගියහ යි අප පොත්හි දැක්වේ.

  4. මේ පුවත පාලි අටුවාහි නැත. සකු බණපොත්හි විස්තරයෙන් ඇත. මෙසේ වැදි වෙසින් හෝ වැද්දකුට ආවිෂ්ට වී පිරිකර ගෙන ආයේ දෙවියෙකැ යි සමහර සකු පොත්හි එයි. එය ම විස්තර නොකොට බ්‍රහ්මයා පිදූ පිරිකර පිළිගත් හ යි ඉතා කොටින් පාලි පොත්හි ආ නියාව පෙනෙයි. යට කී රුක් බෙනයට අට පිරිකර කොයින් ද ? මෙය මහායාන පොත්හි විස්තර කැරෙයි. කලකට පෙරැ එ පෙදෙසේ කිහිප දෙනෙක් පැවිදි වැ පසේ බුදු වූහ. එයින් එක් නමක් පිරිනිවෙනුවෝ නොබෝ කල්හි ලොවුතුරා බුදුවන බෝසතාණන් උපදිති යි දැන තමන් අට පිටරිකර ඒ බෝසතාණනට ලැබෙන ලෙසක් සලස්සන්නැ යි කියා සිය පවුලේ අයට පවරා තුමූ හිමවතට වැඩ පිරිනිවියහ. ඒ බෝසතාණන් උපන් දවසැ පිරිනිවී මාතංග පසේ බුදුහු ය. උන්වහන්සේ ගේ නෑ පරපුරෙහි එය බාර ව අන්තිමට සිටි තැනැත්තී වනයේ මහ රුක්බෙනයෙක එය තැන්පත් කොට රුක්දෙවියා අයැද එය බෝසත් කෙනෙකු පහළ වූ විට ඔබට ලැබෙන සැටියක් සලසන් නැ යි කියා ගියා ය. මේ වැද්දා වෙනෙහි යන විට එය දැක මෙසේ හැරගෙන ආයේය.