මරුට තර්ජනය කිරීම

star_outline

බෝසතාණෝ මේ වසවතු’ යි දැනගත්හ. ඔහු බස් පිළිකුල් කොට පිළිකෙවු කරන සේක් “පමා වූවන් බැඳ ගන්නා පවිට, මගේ ප්‍රධාන ව්‍යායාමයට හානි කිරීමට, තගේ වාසිය තකා ම තෝ මෙහි ආයෙහි. ඒ තා වණන පින් බිඳෙකිනුත් මට වැඩෙක් නැත. යම් කෙනෙක්නට එබඳු පිනින් වැඩෙක් ඇද්ද ඔවුනට නම් තගේ කථාව හොබී.

“ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, ප්‍රඥා, ස්මෘති, සමාධි යන පඤ්ච ඉන්ද්‍රියෝ මා තුළැ ඇතියහ. මෙ කී අංගයන් ගෙන් සමන්විත ව ප්‍රධාන ව්‍යායාමයෙහි යැවූ සිතැති, නිවන් සඳහා පරිත්‍යක්ත ආත්මභාවය ඇති මගෙන් (ප්‍රධානයෙන් ජීවිතයට කවර වැඩෙක්දැයි”) ජීවනය ගැන ප්‍රශ්න කෙරෙහිද?

“මා අප්‍රාණික ධ්‍යානයෙන් ඉපැදැ වූ වායු තෙම ගංගා ශ්‍රෝතයනුදු වියලන්නට සමත් ය. එබැවින් මේ වායු තෙම කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ දැඩි වීර්‍ය්‍ය ඇති මගේ නැලියක් පමණ වූ ස්වල්ප ලෙය කිමෙක නො වියලන්නේ ද? ලෙය වියැලෙන කල්හි පිතත් සෙමත් වියැලේ. මෙසේ පිළිවෙළින් මසුත් ක්ෂීණ වන කල්හි ද සිත වඩාත් පහදී. සිහිය ද ප්‍රඥාව ද සමාධිය ද ස්ථිර ව පිහිටති. තෝ මෙ බඳුවූ මගේ ධෛර්‍ය්‍යවත් සිත නො දැන “කය පමණක් බලා, “කෘශ ය” යන ආදීන් කියයි ද?

“දෘඪාධිෂ්ඨාන ඇති ව මෙසේ කර්මස්ථානානුයෝගී වැ වසන මගේ උතුම් විඳීම බලව, මෙ තරම් දුර්වල වුවත් මෙය හැර ආපසු රාජ සම්පත් ආදිය බලා යමි’යි මසිත කිසිදු කාම වස්තුවක් අපේක්ෂා නො කරයි. බලව, සත්ත්වයකුගේ ශුද්‍ධියෙක හැටි !”