විතර්ක විමැසීම

ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේගේ සිත් සතන්හි නෛෂ්කාම්‍යසංකල්ප ආදී කුශල විතර්කයෝ මහ ගංවතුරක් සේ ඉතා අධික වැ පහළ වෙමින් පැවැත්තාහ. කලක් ම කෘශ වැ සිටි මුත් ආහාර සේවනයෙන් නැවතත් සිරුර ප්‍රකෘතිමත් වැ කලදී සේ ම මහා පුරුෂලක්ෂණයන් මතු වැ බ්‍රහ්මශරීරය ද ඉක්මැ ශෝභාසම්පන්න වූ නියාව දැක්මෙන් “මගේ ශරීරය සමෘද්‍ධියට පැමිණියේ යැ”යි කිසි විටෙක උන්වහන්සේට කල්පනා වෙයි. එහෙත් එය ද කාමවිතර්කයක් කොට සලකා නැවැත එවැන්නක් සිතේ පහළ නො වන ලෙසට සිත රැක ගන්න ඉටා ගත්හ.

තව ද පන්සල ඉදිරියේ ඉන්නා බෝසතාණන් වහන්සේ මුව ගව ආදි සිවුපාවුන් ද වෙනෙහි රැව් පිළිරැව් දෙමින් රුකින් රුක සරණ මොනර වලිකුළු ආදී පක්ෂීන් ද, නෙලුම් ඕලු මහනෙල් කුමුදු ආදී ජලජ පුෂ්ප සංඡන්න හෙප් හා මඬවගුරු ද, නානා පුෂ්ප සමූහයෙන් ශෝභිත තරුවර ශතයෙන් ගහන වනරොද ද, මිණි කඳක් වන් පිරිසිදු ජල ධාරායෙන් ශෝභමාන නේරංජරා නදිය ද දකින සේක. ඒ දැක්මෙන්, “මේ සිවුපා රැල සිත්කළු ය. මේ පක්ෂීහු ප්‍රියංකර හ. මේ දිය හෙප් රම්‍ය ය, මේ රාජිහු ශෝභමාන හ. නේරංජරාව දර්ශනීය යැ”යි උන් වහන්සේට සිතෙයි. එවිට “අහෝ මට කාම විතර්කයෙක් වී යැ” යි ඒ ස්වල්පය පවා කාමවිතර්ක පක්ෂයෙහි ලා සලකා ඒ ද දුරු කිරීමට ඉටා ගන්නා සේක.

දැඩි උණුසුම් දැඩි ශීත ආදියෙන් සිතෙහි මඳ පෙරැළීමක් වූ විටැ එය ව්‍යාපාද විතර්ක පක්ෂයෙහි ලා සලකා එබඳු විතර්ක ද දුරු කරන්නට සිතූ සේක.

පන්සල් දොරැ ඉන්නා කිසි විටෙකැ උන් වහන්සේට ව්‍යාඝ්‍රාදීන් මුව හූරු ආදී දුබල සතුන් පෙළනු දක්නට ලැබේ. ගමට පිඬු පිණිස වැඩි කිසි විටෙක රාජකාර්‍ය්‍ය හේතුයෙන් තමන් රැකියාවන් කැරැ ගන්නට නො ලැබැ උපද්‍රෑත වූවෝ ද දක්නට ලැබෙයි. මෙකී දර්ශන හේතුයෙන් උන්වහන්සේගේ සිතෙහි ශෝක උපදී. ඒ අනුනට හිරිහැර ඇති කරන්නන් ගේ අකාරුණික බව, ක්‍රෑරකම උන්වහන්සේට පැනේ. ඉන් සිත නොසංසුන් වේ. නො එකඟ වේ. එවිටැ ඒ ස්වල්ප නොසන්සුන් බව පවා විහිංසා විතර්ක යැ යි ගෙන, එය ද දුරු කටයුතු යයි සිතූ සේක.

“මෙ සේ සිතන බෝසතාණන් වහන්සේ විතර්කයන් කුශලාකුශල වශයෙන් දෙ කොටසකට බෙදන සේක් “මේ කාම විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්ක යැ”යි අකුශල පක්ෂය එක් කොටසක්ද “මේ නෛෂ්කාම්‍ය විතර්කය, මේ අව්‍යාපාද විතර්ක ය, මේ අවිහිංසා විතර්ක යැ” යි කුශල පක්ෂය එක් කොටසක් දැ’යි කුසල් අකුසල් විසින් විතර්කයන් දෙ කොටසක් කොට අකුශල විතර්ක වැනසීමෙහි ද කුශල විතර්ක වැඩීමෙහි ද යෙදුණු සේක. කාම විතර්කාදී අකුශල විතර්කයන් පහළ වූ විටැ එය තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයට ම අවැඩ පිණිස පවත්නා බව, ලොවීලොවුතුරු සුවයට බාධක බව, දුක් පැත්ත ගෙන සිටින බව, නිවන් පිණිස නො පවත්නා බව සැලැකූ සේක. මෙසේ සලකන බෝසතාණන් වහන්සේ තුළැ ඒ හටගත් දුර්වල විතර්ක විනෂ්ට විය. උන්වහන්සේ අකුශල ධර්මයන් ගේ දෝෂයත් ලමා බවත් කෙලෙසුමත් කුශල ධර්මයන්ගේ, නෛෂ්කාම්‍යයාගේ, අනුහසුත් විශුද්ධ පක්ෂයත් දුටු සේක.

මෙ සේ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව වසන සේක්, තමනට පහළ වූ නෛෂ්කාම්‍ය විතර්කාදී කුශල සංකල්පයන් තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයටමත් අවැඩ පිණිස නො පවත්නා බව ද, ලොවී ලොවුතුරා ප්‍රඥාව ගේ වැඩුමට හිත බව ද, දුඃඛ පක්ෂයෙහි නො වන බව ද, නිවන් පිණිස පවත්නා බව ද දුටු සේක.

යටැකී පරිදි රෑ මුළුල්ල ද, දාවල් මුළුල්ල ද, රෑ දාවල් දෙක් හි ම ද විතර්කන විචාරණයන්හි යෙදුණු උන් වහන්සේගේ ශරීරය ක්ලාන්ත වේ. සිරුර ක්ලාන්ත වූ විට සිත නො සංසුන් වේ. ඒ හේතුයෙන් සිත එකඟ බැවින් ඈත් වේ. එවිට සමාපත්තියට සමවැද ඒ සියලු පීඩා ද නො සංසුන් බව ද සංහිඳුවා ගන්නා සේක. අකුශල විතර්ක පක්ෂය නුවණින් බලමින් නිග්‍රහකොට කුශල විතර්ක පක්ෂය වඩන සේක.

මෙ සේ ප්‍රධන් වීර්‍ය්‍ය වඩන බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ ගේ ඒ තවුස් ජීවිතය සම්බන්ධ සවන වර්ෂයේ අවසාන භාගය පැමිණියේය.