සිද්‍ධාර්ථ ගෞතම තපස්වීන් වහන්සේ විසාලා මහනුවරට යන අදහසින් ගංගානදියෙන් එ තෙර වියැ යුතු බැවින් එය අතට ගමන් ගත්හ. මේ අතරැ පන්සීයක් පමණ වූ බැටෙළු රංචුවක් දක්කා ගෙන රජගහ නුවර අතට එන අජ පල්ලකු ඉදිරි දෙසින් එන්නා දුටුහ. ඒ බැටෙළු රැළෙහි හැමට ම පස්සෙන් කොරගසමින් අමාරුවෙන් පිය නගන බැටෙළු පැටියෙකි. ඌ අහළින් ම උගේ මව් බැටෙළු දෙන ද එයි. අජපල්ලා කිසිදු අනුකම්පාවක් නැතිව කෝටුවෙකින් තළමින් බැටෙළු පැටියා ඉදිරියට යවයි. බෝසතාණන් වහන්සේ ඔහු හමු වැ මොවුන් කොහි ගෙන යන්නෙහි දැ? යි ඇසූහ. “අප මහරජුගේ අපල උවදුරු දුරු කරන්නට වේද නියමය පරිදි අද නුවර ළඟ දෙවොලෙහි බිලි පූජාවක් කැරෙයි. රාජ නියෝගයෙන් බැටෙළුවන් පන්සියයක් ගෙන යෑම මට පැවැරුණි. මොවුන් ඒ දෙවොලට ගෙන යෙමි” යි අජපල්ලා කී ය. “එසේ වී නම් මමත් එමි. මේ ළදරුවාට තළන්නට එපා. මේ පැටියා මම් වඩා ගෙනවුත් දෙමි” යි වදාළහ. ඉක්බිති තවුසාණන් වහන්සේ බැටෙළු පැටියා වඩා ගත් සේක. බැටෙළු රංචුව පස්සෙන් ගමන් ඇරැඹූහ. බැටෙළු පැටියාගේ මව ද උන්වහන්සේ ගේ කාරුණික බව හැඟී උන්වහන්සේ එක්ක ම ගියා ය.
බෝසතාණන් වහන්සේ කෙළින් ම පූජාසනය කරා වැඩියහ. එකෙණහි පුදසුනෙහි හෝනා බැටළුවකු කෙළින් මුවහත් පිහියක් ඔසොවාගත් පූජකයා එය අසරණ බැටළුවා ගේ බෙල්ලට කිට්ටු කරන්නට සැරසුණා පමණ ය. බෝසතාණන් වහන්සේ වහා එ තැනට පැන ඔහුගේ අත අල්ලා ගත්හ. බෝසතාණන් ගේ මුහුණ දුටු පූජකයා මෙල්ල වැ පසු බෑයේ ය. එහි පැමිණ සිටි බිම්බිසාර රජු දෙස බැලීය.
රජ බෝසතාණන් දැක නිහඬ වැ බලාගත් වන ම සිටියේ ය. බෝසතාණන් වහන්සේ “අසරණ සතුන් බිලි දෙමින් තමන් ගේ උවදුරු දුරු කරගන්නට සිතා කරණ ඒ ක්‍රියාවලින් වඩාත් පව් රැස්වනු මිස, විපත් වැඩි වනු මිස, ඒවා අඩු නො වෙතැ යි ද, මේ අසරණ සතුන් බිලිගන්නා තැනැත්තෙක් ඇත්නම් ඒ දෙවියෙක් නොවැ හීන දීන රකුසෙකැ යි ද යන ආදීන් කරුණු කියා අවවාද කළහ. බිම්බිසාර රජතුමා ඒ අවවාදය පිළිගෙන එ වේලෙහි ම සිය රටෙහි සත්ත්ව බලිපූජා තහනම් කෙළේ ය. බුදු වූ පසු වඩින්නැ’යි යලිදු අයැද වැඳ නික්මියේ ය.
බෝසතාණෝ ද විසාලා මහනුවර බලා වඩනාහු ගංගා නදිය අතට පිය නැඟූහ.