මඳ වේලාවකින් මූර්ඡායෙන් නැගී සිටි බෝසතාණන් වහන්සේ “සර්වප්‍රකාරයෙන් ම ආහාර වර්ජනය කරන්නෙමැ”යි සිතූහ. එවිට දේවතාවෝ “සිද්‍ධාර්ථයන් වහන්ස, ඉදින් ඔබ වහන්සේ කොහෙත් ම අහර නො ගන්නා සේක් නම් අපි ලෝම කූප මගින් වත් ඕජාව ඔබ සිරුරට ඇතුළු කරන්නම්හ”යි කීහ. එවිට බෝසතාණන් වහන්සේ “මා අහර මුළු මනින් ම හළොත් දේවතාවෝ මා සිරුරෙහි කූප මගින් ඕජාව ඇතුළු කරති. එසේ වතොත් මගේ ආහාර වර්ජනය හුදු රැවටිල්ලක් වන්නේ යැ” යි සිතා සම්පූර්ණ ආහාර වර්ජනයෙහි අදහස හැරැදමා, එ තැන් සිට පතක් පමණ වූ මුං තැම්බූ දියෙන් හෝ කොල්ලු තැම්බූ දියෙන් හෝ කඩල තැම්බූ දියෙන් හෝ කලතණ තැම්බූ දියෙන් දිවි පැවැත් වූ හ. මේවා පිළියෙල කළෝ පස්වග තවුසෝය.
සිරුර කෙට්ටුවීම
ක්‍රමයෙන් ආහාර ගැන්ම අඩු කළ සේක.32 මේ හේතුයෙන් සිරුර කෙට්ටු වෙවී ගොස් අන්තිමේදී සමින් නහරින් වැසුණු ඇටසැකිල්ලක්ම විය.
බඩ සම පිට කටුයෙහි ඇළිණ. උන්වහන්සේ සිරුර අස්වසනු පිණිස අතින් පිරි මැද්ද කල කුණුවූ මුල් ඇති ලෝමයෝ ඉන් ගැලැවී ආහ. හිස අත ගෑ කල කෙහෙ අතට ම ගැලැවී ආයේ ය.
උන්වහන්සේගේ ශරීරය අඳුනා ගත නොහෙන සේ දුර්වර්ණ ද වී ය. කෙනෙක් උන්වහන්සේ දැක “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු පැහැ ය”යි ද, අන් කෙනෙක් “පලාවන් පැහැ ඇත්තෝ යැ”යි ද ඇතැම් කෙනෙක් “මඟුරු සිවි බඳු පැහැ ඇත්තෝ යැ” යි ද කීහ. බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මේ තරම් උග්‍ර තැනට නැංගේ ය. මේ සා දුක් විඳිමිනුත් උන්වහන්සේගේ සිතෙහි කිසි පසු බැස්මෙක් නම් නොවී ය.
මූර්ඡිතව වැටීම
දිනෙක බෝසතාණන් වහන්සේ සිරුරු කිස පිණිස ඉඳගත් සේක. මුළු සිරුර වියැලී මල මඟ හැකිලී යෑමෙන් ගුද ප්‍රදේශයෙහි දැඩි දුක් වේදනා ඇති විය. එ හෙයින් මල කිස කරනු නො හැක්කෝ මූර්ඡිත වැ එහි මැ වැටුණහ.
එ කල ද දෙවියෙක් “බෝසත් මළේ ය”යි සිතා ගොස් එ පවත් සුදොවුන් රජුට කී ය. කිමෙක් ද, “ම පුත් බුදු වීද නොහොත් බුදු නොවී දැ යි මළේ” යැ යි රජු විතාළේ ය.
“බුදු නොවී ය” යි දෙවියා කී ය.
“ඉවත යා, ම පුත් බුදු බව ලබා විනා නො මැරෙන්නේ ය” යි රජ දෙවියාට තර්ජනය කෙළේ ය. දෙවියා එයින් ම අතුරුදන් වී ය.
මහසතාණන් වහන්සේ ද මඳ වේලාවකින් සිහි ලැබ නැගී සිටි සේක.
නැවත දිනෙක ද අප්‍රාණික ධ්‍යානය වඩන සේක්, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්කූ සේක. ඒ නැහැයෙන් නික්මෙනු නො ලබන්නේ දෙකන් සිලෙන් නික්මණි. නැවැත දෙකන් සිල ද වසා ගත් කල්හි ඉන් නැගී හිස මත්තට පැමිණියේ ය. හිසෙහි දැඩි දුක් වේදනා විය. යලි හිස මත්ත සාරන කලෙක සෙයින් දැඩි කැක්කුම් වී. ඒ වාතය ද හිස බිඳ යෑ නොහෙනුයේ පෙරැළී බඩට පිවිසියේ ය. ඉන් බඩ ඇතුළ ගෙරි කපනා කැත්තෙකින් සිඳින කලෙකැ මෙන් දැඩි පීඩා ඇති වී ය.
මෙ සේ මහපුරුෂයාණන් වහන්සේ අතරතුරැ අප්‍රාණික ධ්‍යානය ද වඩමින් මහත් දුක් වින්ද සේක. එතෙකුදු වුවත් වීර්‍ය්‍ය කිසිදු නො පසු බැස්සේ ය. නො සැලුණේ ය. සිත එකඟ වූයේ, වික්ෂිප්ත නො වී ය. සිහි මනාව එළඹැ සිටියේ, මුළායෙක් නොවීය. නාම කය සංහුන් වූයේ සිත ද සමාහිත වි ය.