උද්‍රකයා වෙත යෑම

මහ බෝසතාණන් වහන්සේ සැරිසරන සේක් මහී නදියෙන් එගොඩ රාමපුත්‍ර උද්‍රක නම් මහ තවුස් ඇදුරකු ඉන්නා බව ඇසූහ. එ පළාතේ අධිපති ඒළෙය්යක පෙදෙස් රජ ද ඔහුගේ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකී, ගන්ධබ්බ, අග්ගිවෙස්සාන යන මහ ඇමැතියන් ද ඔහු තමන් ගුරුකොට සලකන බව ද ඇසූහ. එහි ගියොත් මැනැවැ යි බෝසතාණනට සිත් විය. නොබෝ දිනෙකින් ම ඔහුගේ අසපුවට වැඩියාහ. ඒ තවුසාණෝ ද බෝසතාණන් දැක සාදර ගෞරවයෙන් පිළිගත්හ. නවාතැන් දුන්හ. ආහාරපානා දී අවශ්‍ය සියලු දෑ සපයමින් ම තමන්ගේ කර්මස්ථාන මාර්ගය ද ඉගැන්වූහ. බෝසතාණෝ ද එය ඉගෙන පිළිපැද නොබෝ දිනෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ලැබූහ. බෝසතාණෝ තමන් ලත් සමාධි තත්ත්වය පැවැසූහ. “මගේ ගුරු වූ රාම තවුසාණෝ ද ඔය සමාධිය ලැබ සිටියහ. එහෙත් මා වනාහි ඒ මගේ ගුරුන් ගෙන් මේ සමධි භාවනා ක්‍රමය ඉගෙන ඇතත් එ පරිද්දෙන් ම උගන්නතත්, තව ම ඒ සමාධිය නම් නො ලැබීමි. ඔබ මගේ ගුරු වූ රාම මහර්ෂීන්ගේ තත්ත්වයට පැමිණියහ. මෙ තැන් සිට මෙහි අධිපති වැ වැඩ ඉන්න. අපි හැම ඔබගේ ශිෂ්‍යයම්හ” යි කියා ශිෂ්‍යයොත් තෙමේත් බෝසතාණන්ගේ ශිෂ්‍ය බවට පත් වූහ. “මෙයින් වැඩිමනත් කිසිවක් ඔබ නො උගත්වත්ද?” යි බෝසතාණෝ උද්‍රකයාගෙන් ඇසූහ. “නැත, මේ අප ගුරු වූ රාමර්ෂීන් ඉගැන් වූ පරම විමුක්තියැ” යි උද්‍රක කීය. බෝසතාණෝ විමසා බලනුවෝ එය තමන් සොයන පරම විමුක්තිය නොවේ යැ යි දැන, එයට මඟ පෙන්වන අන් ඇදුරක්හු සොයා යන්නට සැරසුණාහ.

ශුද්ධෝදන රජතුමා ද පුතණුවන්ගේ තොරතුරු විමසා තමාට දන්වනු පිණිස මාරුවෙන් මාරුවට තමා යවන දූතයන් මගින් බෝසතාණන් වහන්සේගේ තොරතුරු දැන ගනී. මෙය රජ පවුලේ හැම දෙනාට ම සිත් සනසා ගන්නට හේතු විය. උන්වහන්සේ රාමපුත්‍ර උද්‍රක තවුසාණන් ගේ අසපුවට පැමිණ වසන සමයෙහි රජුහු විසින් එවන ලද දූතයෝ ඔබට විශේෂ උපස්ථායක කෙනෙක් නැතැ” යි දුටුහ. ගොස් එපවත් රජුට දැන්වූහ. මෙය ඇසූ සුදොවුන් රජුත් සුප්‍රබුද්‍ධ රජුත් තමන් වෙතින් වෙන වෙන ම පිරිස් දෙකක් බෝසතාණනට උපස්ථාන පිණිස ඒ අසපුවට එවූහ.

ඒ පිරිස්හි වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන තවුසන් පස් දෙනා පමණක් බෝසතාණෝ තමන් වෙත රඳවා ගත්හ. සෙස්සන් පෙරළා යැවූහ. මෙයින් කොණ්ඩඤ්ඤ යනු බෝසතුන් උපන් පස් දිනෙන් නාමකරණ මංගලයට පැමිණි බමුණන් අතුරෙන්, “මෙ තුමෝ ගිහිගෙයි නොරැඳෙන්නා හ. පැවිදි වැ බුදු වනාහු මැ යැ” යි කී බමුණන් පස් දෙනා ගෙන් ළා බාල ම තැනැත්තේ ය. සෙසු සතර දෙනා අනිත් බමුණන් සිවු දෙනාගේ දරුවෝ ය. ඔහු ඒ කාලයේ ම බෝසතාණන් නමින් තවුස් පැවිද්දෙන් පැවිදි වැ කිඹුල්වත් පුර අසළ වෙනෙහි වැස තවුස් දම් වැඩූහ. ශුද්ධෝදන රජුත් සුප්‍රබුද්‍ධ රජුත් බෝසතාණනට උවටන් පිණිස එවන පිරිසට ඇතුළත් වැ ආහ.

බෝසතාණන් උද්‍රක ආශ්‍රමයෙන් නික්මෙනුවන් කැටුව ම ඔහු ද නික්මුණා හ. බෝසතාණෝ ද පස්වැගි තවුසන් කැටුව සැරිසරනුවෝ රජගහ පුරයෙන් ද නික්ම ගයාවට පැමිණ එහි ගයා ශීර්ෂයෙහි ලැගුම් ගත්හ.

එහි වසන බෝසතාණනට දවසෙක මෙසේ සිතෙක් විය. “තෙත් වූ ගිනිගානා දඬු දෙකක් එකට කොතරම් මැද්දත් ගිනි නො උපදින්නා සේ කාමයන්හි ඇලී ගැලී සිටිනවුනට එහි ඇලී සිටුනා තාක් උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරගත නො හැක. තෙත් වූ ගිනි ගානා දඬු දෙකක් වියැලි බිමෙහි තබාගෙන මැද්දත් ගිනි නොඋපදින්නා සේ කම් සැපෙහි ඇලී ගැලී නො උන්නත් සිත තුළැ කාමතෘෂ්ණාව තිබෙන තාක් උත්තරී මනුෂ්‍යධර්මයන් ලබත හැකි නො වන්නේ ය. වියැලි ගිනිගානා දඬු දෙකක් වියලි බිමැ තබා මඬිනා විට ම ගිනි උපදින්නා සේ කාමතෘෂ්ණාව දුරුකොට සිටියාහු විසින් ම උත්තරීමනුෂ්‍යධර්ම සාක්ෂාත් කටහැක්ක. මම් වනාහි කම් සැප ද කාමතෘෂ්ණා ද මුළුල්ල ම දුරු කොට, ඒ සියල්ලෙන් වෙන් වැ ඉඳිමි. ඒ මම් උත්තරීමනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නට සමත් වෙමි. එයට උත්සාහ කරමි” යනු යැ.

ඉක්බිති බෝසතාණෝ කිහිප දිනක් එහි වැස එයින් නික් මැ නිල්දලා (නේරංජරා) නදී තීරයට වැඩියාහ. එහි සුදුසු තැනක් සොයා ඇවිදුනාහු ගලන මිණි කඳක් වන් නිමල් සිසිල් නිල් සිලිලෙන් හොබනා සිත්කලු නිල්දලා නදිය ද එහි අද්දරැ සුපිපි මලින් සැදුණු රුක්ලියෙන් සැදුම්ලත් මනරම් බිම් පෙදෙස ද අනිත් පසෙහි විහිදැගිය මොනරපිල් කලඹක් වන් ප්‍රසාද ජනක වනලැහැබ ද හාත්පසැ නොදුරැ වූ සේනානී නිගමය ද දැක, “මේ නම් බවුන් වඩන යෝගීනට සුදුසු ම තැනැ යි නිශ්චය කොටගෙන පස්වැගි තවුසන් හා එහි වාසග්‍රහණය කළාහ.