භාවනා වැඩීම

star_outline

මෙසේ උරුවෙල් දනව්වෙහි නිල්දලා ගං තෙර වන පෙදෙසෙහි වෙසෙන මහ බෝසතාණෝ පළමුවෙන් ම මෛත්‍රී භාවනාව වැඩූහ. නොයෙක් විට වනයෙහි විසීමේ දුෂ්කරතා විමසනුවෝ, කායික වාචසික මානසික දුශ්චරිතාදිය වෙනෙහි වසන්නවුනට බියට හේතු යැ යි දුටුහ. තමන් තුළ ඒ කිසිදු ලාමක ගති නැති බැවින් බිය ගන්නට කරුණු නැතැ යි දුටුහ. මිනිසුන් අදහන පරිදි තුදුස්වක් අමාවක් පසොළොස්වක් අටවක් තිථින්හි අමනුෂ්‍යයන් බැල්ම හෙලන චෛත්‍ය වශයෙන් සලකන ලද රුක් වෙත ද වන පෙදෙස් වෙත ද රෑ ගොස් විමසන්නාහු මුවකු හෝ වෙන යම් එබඳු සතකු තමා වෙත එන නියාව ද කුරුල්ලකු ගසෙකින් ලී කැබැල්ලක් හෙලන නියාව ද සුළඟින් ගසකොළ සැලෙන නියාව ද දුටුහ. මිනිසුන් එහි ඇතැයි කියන භූත විකාර (හොල්මන්) මේවා නොවේ දැ යි සලකා බැලූහ.

පස්වැගි තවුසන් උපස්ථාන කළ ද බෝසතාණෝ හුදෙකලා වැ ඉඳීම ම රිසි කළහ. එහි වසන සමයෙහි ඒ ස නම ම පිඬු සිඟා වැඩියේ සෙනානි නිගමයට ය.

ඒ මහ වන පෙදෙසෙහි තන්හි තන්හි තවත් පැවිද්දෝ වූහ. ඔහු නොයෙක් තපෝව්‍රත පිරූහ. ඔහු පිහිතාසව නම් ජෛන ආචාර්යවරයාගේ සව්වෝ ය. ඒ ආචාර්‍ය්‍ය තෙම එයින් හවුරුදු හත්අටසියයකට පෙර සිටි පාර්ශවනාථ නම් ශාස්තෘවරයක්හුගේ පරපුරෙහි වූ ජෛන නම් ශ්‍රමණ ගණයා ගේ නායකයෙකි. සිවුරු පොරොවන තවුසෙකි. ඔහු වෙත රැඳී ව්‍රත පිරුවෝ බොහෝ ය. ඔවුන් අතුරෙහි මහාවීර වර්ධමාන යන නම්වලින් ප්‍රසිද්‍ධ වැ සිටි ඥාතපුත්‍රනිර්ග්‍රන්ථ තෙම ප්‍රමුඛස්ථානයක් ගත්තේ ය. හේ ක්ෂත්‍රියයෙකි. ලිච්ඡවිරාජවංශයේ ශාඛාවක් වූ ඥාත (නාත) ගෝත්‍රයට අයත් කුන්දග්‍රාම කොල්ලාග යන ගම් දෙකට අධිපති සිද්‍ධාර්ථ නම් රජුගේ පුත්‍රයා ය. හේ සසරැ කලකිරී පැවිදි වැ මේ උඩ කී පිහිතාසව තවුසාණන් වෙත අවුත් දොළොස්හවුරුද්දක් කයට දුක් දෙන කෂ්ටව්‍රත පුරා “ජිනත්වයට පත්වීමි” යි එතැනින් නික්මැ ගොස් කිසිදු වස්ත්‍රයක් නොහඳින නග්න ශ්‍රමණ නිකායයක් ඇති කොට ගණනායක වැ විසීය.