යශෝධරාවන්ගේ ව්‍රතසමාදානය

බෝසතාණන් ආහාර අඩුකිරීම් ආදීන් පුරන දුෂ්කර තපෝව්‍රත පිළිබඳ තොරතුරු කිඹුල්වතින් යැවෙන රාජ දූතයන් මගින් ශුද්ධෝදන රජ්ජුරුවෝ හැම දා ම දැනගත්හ. එහෙත් එ තුමෝ අසිතර්ෂි ආදීන් කී අනාවැකි සියල්ල ඒ තාක් අකුරට ම හරි ගිය බැවින් ඉතිරි ටිකත් එසේ ම හරියතැයි ද “මා පුතාණෝ බුදු වන්නාහු ම යැ” යි අදහන්නාහු ලැබෙන ආරංචිවලින් නො කැලැඹුණාහ. කොතරම් දුෂ්කර ව්‍රත පිරුවත් විපතක් නොවෙති යි තරයේ ම සිතූහ. එහෙත් බෝසතාණන් ආහාර අඩු කිරීම් ආදී වශයෙන් කරන කය තැවීම් පිළිබඳ කිසි ම පුවතක් යශෝධරාවනට ආරංචි වෙන්නට ඉඩ නො තැබූහ. ඒ වගක් ඇයට නොකියන ලෙසට ඒ රාජ පුරුෂයනට ද අණ කළහ. යශෝධරාවන් සිතා සිටියේ බෝසතාණන් සාමාන්‍ය තවුසකු සේ ජීවත් වන බව පමණ ය. ඕ රාජපුරුෂයන් ගෙන් බෝසතාණන් බිම සැතපෙති යි අසා තොමෝත් ඇඳ පුටු පරිහරණය අත්හරියා ය. කසට පෙවූ සිවුරු හඳිතැයි පොරොවතැ යි අසා තොමෝත් ආභරණ සුවඳ විලෙවුන් පාවිච්චිය හැර දමා කසට පෙවූ වස්ත්‍රයක් හැඳ කසට පෙවූ වතක් ම පෙරෙව ගත්තී ය. බෝසතාණන් කෙස් වැටිය සිඳ දැමූ පවත් අසා තොමෝ කෙස් වැටිය සිඳ දැමුවා ය. බෝසතාණන් වළඳනුයේ එක් වේලක් පමණයැ යි තොමෝත් එක් වේලක් ම අහර ගත්තා ය. මෙසේ රජගෙහි හිඳම තපස්විනියක සේ කල් යවන්නී ද හැම සැප පහසුවක්ම දෙමින් මැනැවින් රහල් කුමරු පෝෂිත කළා ය. තව ටික කලෙකින් මගේ ස්වාමිදරුවන් බුදු වී අවුත් අපට දුකින් මිදෙන මාර්ගය පෙන්වතියි, අපට විමුක්ති සැපය ලබවතියි උදාර අපේක්ෂා ඇත්තී අනාගත භාග්‍යය පතමින් කල් යැව්වා ය.