ටික කලකට පසු එක් දිනෙක බෝසතාණෝ අස්රිය නැඟ පළමු සේ ම උයන් යන්නෝ උයනට නොදුරෙහි “ශාන්ත දාන්ත වැ විය ගහක් තරම් දුරට හෙලූ ඇස් ඇති වැ සෙමෙන් සංසුන් වැ යන මහණක් හු දුටහ.23 තමන් කුඩා වියෙහි ගුරුහු වෙතින් වේද වේදාංගාදී සිප් සතර උගනිද්දී දැන ගෙන තුබුණු පරිදි ‘මේ ශ්‍රමණකෙනකැ’ යි අනුමානයෙන් සිතුවත් සැක හැරැ දැනගනු රිසියෙන් “රියදුරනි, අර කවරෙක් ද?” යි විචාළ හ. “ජරාරෝගාදී වශයෙන් ඇති සසර දුකින් මිදෙනු වස් ගිහි ගෙය හැර පැවිදි වැ ගුණ දහම් වඩන මහණ කෙනෙකැ” යි ඡන්න පැවැසී ය. එය ඇසූ බෝසතාණන් වහන්සේ තුළ පැවිදි වීමේ උනන්දුව බලවත් විය. ඔබ එදා උයනට ම වැඩ උයන් සිරි බලමින් ප්‍රීතියෙන් කල් යැවූහ. මේ අතර ශුද්ධෝදන රජු විසින් එවන ලදු වැ, එහි අවුත් සිටි කාලුදායි ඇමැතියා ගේ මෙහෙයුම් පරිදි, නාටිකාවන් බෝසතාණන් සිත කම්සුවෙහි අලවනු පිණිස නොයෙක් ලෙසින් භාව භාව විලාස පාමින් ක්‍රීඩා කළ නුමුත්, තමන් දුටු මහල්ලා ද රෝගියා ද මළ සිරුර ද සිහි කරන බෝසතාණනට ඔවුන් ගේ ඒ සියලු විලාස පෑම් දුගඳ ලේ මස් නහරින් බැඳුණු ඇටසැකිලි ගොඩක් කරන වියරුවක් සේ වැටහිණ. එහෙත් නිහඬ වැ, තමන් බලාපොරොත්තු වන පැවිද්ද ගැන ම සිතමින්, සිය පිරිවර කුමරුන් හා උයන් සිරි බලා පැවිදීම් ආදියෙන් දවස ගෙවූහ.
සවස් විය. බෝසතාණෝ මඟුල් පොකුණට බැස නා ගොඩ නැගුණාහ. එ කෙණෙහි මඟුල් කපුවා පැමිණ ඔබ වස්ත්‍රාභරණයෙන් දෙව් රජක්හුසේ සැරැසී ය. බෝසතාණන් වහන්සේත් ගදඹුවන් ගේ පසඟ තුරු ගොසින් ද බමුණන්ගේ ස්තෝත්‍ර ගායනයෙන් ද පුදනු ලබනුවෝ මඟුල් අස්රිය නැඟුනාහ. එකෙණෙහි ම සුදොවුන් මහරජාණන් දූතයකු අතැ එවූ “යශෝධරාවනට පුතෙක් ලැබිණ” යන හස්නට කන් යොමු කළහ. “රාහුලයෙක් උපන,24 ඒ බන්ධනයෙක් පහළ වී යැ” යන වචන බෝසතාණන් ගෙන් කියැවිණ.
දූතයා ආපසු ගියේ ය. බෝසතාණන් කී වචනය මහරජුට දැන්වී ය. රජ එය අසා, මෙ තන් සිට මා මුනුබුරු තෙම රාහුල නම් වේ වායි’ කී ය.
බෝසතාණන් වහන්සේ ද රිය නැඟ මහ පෙරහැරින් සිය භවනය අතට ගමන් ගත්හ. උන් වහන්සේ යන මඟ අද්දරැ ප්‍රාසාදයෙක සිට ඔබ දෙස බලා සිටි කෘශාගෞතමී (හෙවත් මෘගජා) නම් ශාක්‍ය කුමාරිකාවක් තේජස් සම්පන්න වූ නුමුත් ඒ එක්ක ම කරුණාබර ශාන්ත බැල්මෙන් යුත් බෝසතාණන් දැක “මොහු හෝ මෙ වැනි පුතක්හු ලත් මව නිවුණි වේ. පියා ද නිවුණේ වේ. මොහු හෝ මෙවැන්නකු ස්වාමි ව ඇති ස්ත්‍රී ද නිවුණියක් වේ” යැයි ගාථාවකින් හඬ නඟා ස්තෝත්‍ර කළා ය.25
සසරැ දුක් ගිනි නිවීම අතට ම යොමු කළ සිත් ඇති වැ ඒ ගැන ම කල්පනා කරමින් හුන් බෝසතාණන් වහන්සේ ඇය ගේ කථාව අසා “මා හෝ මා වැන්නකු අයත් මවත් පියාත් බිරියත් නිවුණවුන් වෙති”යි මෝ කියයි. “කුමක් නම් නිවුණු කලැ හදවත නිවේ දැ?” යි සිතන්නාහු, රාග ගින්න. ද්වේෂ ගින්න, මෝහ ගින්න, මාන දෘෂ්ටි ආදී කෙලෙස් ගිනි නිවී ගිය කල්හි ම හදවත නිවුණේ වේ යැ” යි දුටුහ. ඉක්බිති “සියලු දුක්වල නිවීම සොයන මා සිතට ධෛර්‍ය්‍ය දෙන හස්නක් එවීමෙන් මා උනන්දු කළ මැයට තුටු පඬුරක් යැවිය යුතු යැ”යි සිතා ගෙල පලන් ලක්ෂයක් වටනා මුත්හර ගලවා ඇයට ගුරු පඬුරු කොට යැවූහ. සිය පහයට ගොස් සිරි යහන් හි හෙවැ ගිහි ගෙන් නික්ම යෑම ගැන ම කල්පනා කළහ.
බෝසතාණන් වහන්සේ ටික වෙලාවකින් පිබිදුණාහ. “ගිහිගෙන් නික්මෙන්නට කාලය පැමිණියේ යැ”යි සැලැකූහ. එහෙත් “මා හදා වඩා රැක බලා ගත්, මගේ සැප පහසුව ද අභිවෘද්‍ධිය ද තකා පමණ කළ නොහැකි මහත් ධනසම්භාරයක් වියදම් කළ, රෑ දෙවේ මගේ යහපත ම පතා, නො පමණ වෙහෙස මහංසි දැරූ මගේ කරුණාබර පියාණන් වහන්සේට නො දන්වා උන් වහන්සේ ගෙන් අවසර නො ගෙන නික්ම යෑම අයුත්තෙකි. එය අකෘතඥ බවෙකි. එ බැවින් දැන් පියාණන් වහන්සේ වෙත ගොස් දන්වමි” යි සිතූහ. සිතා මහ රෑ ම පියාණන් ගේ මාළිගාව වෙත ගියාහ. ස්වභාවයෙන් ම බෝසතාණන් වහන්සේ ගේ සිරුරේ ප්‍රභාව බඹයක් පමණ වටා ආලෝකවත් කෙරෙයි. යශෝධරාවන්ගේ ශරීරප්‍රභාව ද එබඳු ම ය. විශේෂයෙන් මෙය ප්‍රකට වනුයේ රෑ අඳුරෙහි ඉන්නා විට ය. බෝසතාණන් වහන්සේ පිය රජුන්ගේ පහයට ගිය කෙණෙහි ඔබේ ශරීර ප්‍රභාව පැතිර පෙදෙස ආලෝකවත් වූ විට, රෑ පවා පුත් කුමරු ගැන නිතර සෝදිසියෙන් සිටි ශුද්ධෝදන රජ සේවකයන් බණවා “කිමෙක් ද? රෑ පාන් වූයේ දැ?” යි ඇසී ය. “නැත දේවයිනි, තව ම මහ රෑ ය. රාජපුත්‍රයාණන් වහන්සේ වැඩිය සේකැ” යි සේවකයෝ කීහ. ශුද්ධෝදන රජතුමා යහනින් නැගිට අවුත් බෝසතාණන් පිළිගෙන “පුතා, මේ මහ රෑ මෙහි ආයේ කිසි වුවමනාවෙක් දැ” යි ඇසී ය.
“එසේ ය, පියාණන් වහන්සැ” යි බෝසතාණෝ වදාළාහ.
“ මොකක් ද පුතා, උවමනාව?”
“පියාණන් වහන්ස, මට දැන් ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේ ය. මට සමා වෙන්න. රට වැසියන් සහිත පියාණන් වහන්සේ ගෙන් සමාව යදිමි, මම පිටත් ව යන්නෙමි.”
“පුතා හැයි ද මේ නෑදෑ පිරිසත් රාජ සම්පතත් කීකරු රට වැසියනුත් හැර දමා යන්නට සිතන්නේ? ඔබට වුවමනා යම් දැයෙක් ඇත්නම් ඒ සියල්ල සපයා දෙමි.”
“මට වුවමනා දැය සපුරාදෙතොත් මේ රජ සැප හැර නො යමි. සපයා දත හැකි නොවෙතොත් මට යන්නට අවසර ඇද්ද?"
“මා විසින් සපයාදෙත නො හැකි කිසිත් නැත. සියල්ල සපයමි. ඒ කිසිවක් මට නො හැකි වී නම්, එය සොයා යන්නට අවසර ඇත.”
“එසේ නම් පියාණන් වහන්ස, මට අවශ්‍ය ව ඇති දෑ සතරෙකි. එනම්, “මහළු බව මට ඇති නො වේ වා” මෙය මා ඉල්ලන එක් දැයෙකි.
“යොවුන් බව, මනා පැහැපත් තරුණ බව හැම කල්හි ම මා කෙරෙහි වේවා” මේ මා ඉල්ලන දෙවෙනි දෑ ය.
“කිසිදු කලෙක මා සිරුරට රෝගයක් නො වැළඳේ වා” - මේ තුන්වැනි දැ ය යි.
“කිසිදු කලෙක නො මැරෙම්වා” මේ මා ඉල්ලන සතර වැනි දැය යි.
පියාණන් වහන්ස, මෙසේ මහළු නොවන බව, සදා තරුණ බව, ලෙඩ නොවන බව, නොමැරෙන බව යන කරුණු සතර හැර මට අවශ්‍ය අන් දැයෙක් නැත. මේවා සපයා දෙත හැකි නම් රජගෙය හැර නොයමි. මෙහි ම රැඳෙමි. මේවා සපයා දෙත නො හැකි නම්, මගේ පමණක් නොව, ඔබ වහන්සේ ගේ පමණක් නො ව, මා වැඩූ කුඩා මෑණියන්ගේ ද යශෝධරාවන් ගේ ද, රාහුල නන්ද ආදි මගේ සහලේ නෑයන්ගේ ද පමණක් නො වැ, ජරා ව්‍යාධි ආදි දුක්වලින් පෙළෙන සියලු අසරණ ලෝකයා ගේ යහපත පිණිස, ඒ හැමදෙනාට මෙකී සියලු දුකින් මිදෙන මඟ සොයා පිහිට වනු පිණිස, එය මේ රජ ගෙය තුළැ රැඳී කට නො හැක්කක් බැවින් එය සොයනු පිණිස මා මෙහෙන් නික්ම යෑ යුතු නොවේ ද?”
බෝසතාණන්ගේ කථාව අසා සිටි ශුද්ධෝදන රජතුමාට තමා මෙතෙක් කල් කොතරම් උපා යෙදුවත් කොතරම් වෙහෙස මහන්සි ගත්තත් අසිත සෘෂිතුමාත් නිමිත්තපාඨක බමුණනුත් කී අනාවැකි හරි යන බව ම හැඟිණ. එය වළක්වන්නට නො හැකි බව ම වැටහිණ. ඉක්බිති කඳුළු පිරි මුහුණින් පුත්‍රයාණන් දෙස බලා හිඳ “පුතංඩ, ඔබ ඉල්ලූ වර දීමෙහි ශක්තියෙක් මට නැත. මහානුභාව සම්පන්න දීර්ඝායුෂ්ක සෘෂිහු පවා කලුරිය කළහ. ඔබේ අදහස මට වැටහෙයි. ගමනට ඔබට අවසර ඇත. ඔබ තුළ පවත්නා ලොව ජරාමරණාදි දුකින් මුදාලීමේ ශ්‍රේෂ්ඨ අදහස එසේ ම සඵල වේවා, සම්පූර්ණ වේ වා!”
මෙසේ පියරජු ගෙන් අවසර ගත් බෝසතාණන් වහන්සේ ඔබට ගරු බුහුමන් දක්වා එ තැනින් සිය මාළිගයට පැමිණියාහ.
පසු දින පහන් දොරැ ශුද්ධෝදන රජ සියලු ශාක්‍ය ප්‍රභූන් රැස්කරවා සිද්‍ධාර්ථ කුමාරයෝ ගිහිගෙන් නික්මෙන්නාහ’යි තමාත් පුත්‍රයාත් අතරැ ඇති වූ කථාව කියා “මෙයට කුමක් කර මෝ දැ?” යි ඇසී ය. “නිමිත්තපාඨකයන් කියා තිබෙන පරිදි පැවිදි වීම හෝ සක්විති වීම වයස එකුන් තිස් වැන්න පිරුණු තැන දී ය. ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියෙකි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතු යැ”යි ශාක්‍යයෝ කීහ. කියා එයට කටයුතු දෑ නිශ්චය කැරැ ගත්හ. එය අනුවැ එදා සිට නුවරැ දකුණු වාසල් දොරැ ද්‍රෝණෝදන රජු සමග පන්සියයක් ශාක්‍ය තරුණයෝ ද, බස්නාහිර පැත්තේ වාසල් දොරැ ශුක්ලෝදන රජු සමග එපමණ ම ශාක්‍ය තරුණ පිරිසෙක් ද, උතුරු වාසල් දොරැ අමෘතෝදන (අමිතෝදන) රජ සහිත තරුණ ශාක්‍ය පිරිසෙක් ද, නැගෙනහිර වාසල් දොර පන්සියයක් පමණ ශාක්‍ය තරුණයන් සමග ශුද්ධෝදන මහරජ ද, රකවල් කරන්නට නියම කැරැ ගත්හ. ඔවුන්ගේ නියමය පරිදි නුවර සෑම දෙමං හන්දි තුන්මං හන්දි සතරමං හන්දි ආදී සන්ධිස්ථානවල මහළු ශාක්‍ය රජුහු රකවල් කරන්නට බාරගත්හ. නුවර මැද සංචාරය කරමින් ආරක්ෂා කැරැ ගැන්ම මහානාම කුමාරයාට පැවරිණ.
මෙසේ ඔහු සදිනක් ම රෑ නිදිවරා නගරය ඇතුළත පිටත හැම තැනම මුර කළහ.
ඔවුන් ගත් ක්‍රියා මාර්ගය දැනගත් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ ද සුදුසු දිනය හා වේලාව පැමිණෙන තුරු බලාපොරොත්තු වූහ. ප්‍රජාවතීගෞතමී ද නුවර හැම ප්‍රාසාදයෙකම හැම ගෙයකම ඉන්නා ස්ත්‍රීනට රෑ එළිවන තුරු පහන් නොනිවා සෝදිසියෙන් ඉන්නට විධාන කළා ය.
බෝසතාණෝ ද මේ කාලය තුළ ලොවැ දුඃඛ තත්වය නුවණින් සලකා බැලීම්, තමන් ජාතිස්මරණඥානය ඇත්තකු බැවින් අතීත ජාතීන්හි කළ චිත්තප්‍රණිධීන් මෙනෙහි කිරීම් ආදී වශයෙන් “තවුසක්හු සේ කල් යැවූහ. සිද්‍ධාර්ථ කුමාරයන් ද සුදොවුන් මහරජු ද අතරැ පැවැති කථාව රහසෙක් නොවී ය. යශෝධරා ආදි කවුරුත් දත්හ. කවර දාක හෝ සිද්‍ධාර්ථ කුමාරයන් කැටුව තමා ද ගිහිගෙන් වෙන් වැ තවුස් දිවියට බස්නට ඉටාගෙන සිටි යශෝධරාවෝ ඒ කිසිවෙකින් කලබොල නො වූහ. එහෙත් ඇය ගේ සිත නොසංසුන් වන්නට කරුණෙක් ඇති විය. ඒ එකී සත්වැනිදා රෑ කලින්ම නිදා ගත් ඇය දුටු සිහිනයෙකි. එදා සැන්දෑවේ ඕ නිදාගත්තී සිහිනයක් දැක පිබිදී සිද්‍ධාර්ථ කුමාරයන් වෙත ගියා ය. තමා දුටු සිහිනය සැළ කරන්නී. “ස්වාමීනි, ඔබ මෙහි මා තනිකොට හැර දමා තපසට ගියා සීනෙන් දිටිමි. ස්වාමීනි, ඔබ යන තැනට මම ද යෙමි” යි ඕ කීවා ය. බෝසතාණෝ ද ‘තමන් යනුයේ නිවන දෙසටය, යන්න සලකා, “එසේය, මා යන තැනට ම නුඹත් පමුණුවමි” යි කීය. ඉක්බිති නිවන් අවබෝධ කරනු පිණිස මහත් දුක් පීඩා වින්ද යුතු බව, බෙහෝ වෙහෙස මහන්සි වියැ යුතු බව, අතදරුවකු සහිත යශෝධරාවන් බඳු සියුමැලි ස්ත්‍රියකට එවැනි දුක් පීඩාවලට මුහුණ පෑ හැකි නොවන බව පැහැදිලි කොට දී, “මම් විමුක්ති සැපය අත්පත් කොට ගෙන අවුත් ඔබ හැමට එය ලබවන්නෙමි. එතෙක් ඉවසා දරුවා රැකගන්න. මේ සියලු ධන සම්පත් ඔබට ඇත. මා පියාණෝ ද කුඩා මෑණියෝද ඔබේ ආරක්ෂාවට සිටිති” යි සැනසිලි බස් කීහ. දුර දිග දක්නා නුවණ ඇති, ස්වාමිභක්තිය ඇති, විනීත වූ යශෝධරාවෝ කුමාරයාණන්ගේ අවවාදයට අවනත වූහ. ප්‍රිය විප්‍රයෝග දුක ඉවසා දරා ගන්නට නොයෙක් දෑ සිතමින් උත්සාහ කළා හ.