අනුපිය අඹවෙනෙහි සතියක්

star_outline

ළදරු වියේ සිට නවවිසි වන වස තෙක් ම නිතර පැවැති නැටුම් ගැයුම් වැයුම් හා ඇසුරු කළවුන් ගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලැබ කල්ගෙවූ බෝසතාණන් වහන්සේට ඒ සියල්ලෙන් වෙන් වැ පටන්ගත් මේ හුදෙකලා ජීවිතය මහත්ම සැනසිල්ලෙක් වැ වැටහිණ. ලෝක තත්වය ජීවිත තත්ත්වය සිතා බලන කෙනකුට අවශ්‍ය වනුයේ ජනයා ගෙන් වෙන් වූ හුදෙකලා බවයි. එය ලත් බෝසතාණන් වහන්සේ එයින් උපන් විවේකය ද ඒ නිසා ම උපන් ප්‍රීතිය ද භුක්ති විඳිනුවෝ නුවණින් ජීවිත තත්ත්වය විමසනුවෝ සතියක් ම කල් යැවූහ. සාපිපාසාවක් ඇති නොවී ය. මේ අතර “මගේ වියෝගයෙන් ඇති වන ප්‍රියවිප්‍රයෝග දුක දරා ගැනීමේ ශක්තිය පියාණන් වහන්සේටත් කුඩා මෑණියන් වහන්සේටත් යශෝධරාවනටත් නන්ද කුමාරයාටත් නන්දා කුමරියටත් සෙසු ඥාති ගණයාටත් යන හැම දෙනාට ම ඇති වේ වා. එයින් කිසි කෙනකුටවත් කිසිම විපතෙක් නොවේ වා”යි තරයේ අධිෂ්ඨාන කළහ.

බෝධිසත්වයන් වහන්සේ අනුපිය අඹ වනයෙහි සතියක් වැස එයින් නික්මුණාහු ශාක්‍යා බ්‍රාහ්මණී නමින් ප්‍රසිද්‍ධ තපස්විනියක ගේ අසපුවට වැඩියාහ. තපස්වැනි තොමෝ බොජුනින් ද නවාතැනින් ද සංග්‍රහ කළා ය. එ තැනින් උගත යුතු දැයක් නැති සේ දැක නොදුරැ වූ පද්මා නම් තපස්විනිය ගේ අසපුවට වැඩියාහ. එහි දී ද මහත් ආදර සත්කාරයෙන් පිළිගන්නා ලදහ. එතැනිනුත් උගත යුතු දැයක් නැති නියා දැක එහෙන් ද නික්මුණාහු. නොදුරැ වූ රේවත නම් සෘෂිහු ගේ අසපුවට වැඩියාහ. ඒ සෘෂිහුගේ ද ධර්මයෙහි සාරයක් නොදුටුවාහු එ තැන නො සිට නික්මුණාහ. මෙසේ වඩනාහු රජගහ නුවරට සමීප අසපුවෙක යාගහෝම, කෙරෙමින් නොයෙක් ව්‍රත පුරමින් වසන තවුසන් සමූහයක් ඉන්නා භාර්ගවාශ්‍රමයට පිවිසියාහ. අසපුවට අධිපති භාර්ගව තම මහත් සත්කාරයෙන් බෝසතාණන් පිළිගත. ඔහුගේ දහම විමසා බලනුවෝ සගසුව පතා යාගහෝම කරනුවට වැඩියෙන් දැයක් නැතැයි දැක එතැනින් ද නික්මෙන්නට සැරැසුණහ. එය දුටු එහි ව්‍රත පුරන මහලු තවුස් කෙනෙක් “ඔබ සොයන දහම උගන්වන ආළාර නම් තවුස් කෙනෙක් විසාලා මහනුවර වින්ධ්‍යාකෝෂ්ඨ නම් අසපුවේ වෙසෙති. එහි වඩින්නැ යි” කීහ. විසාලා මහනුවරට යෑමට රජගහ නුවරට ගොස් ගංගානදියෙන් එගොඩට යෑ යුතු ය. එ බැවින් බෝසතාණෝ පළමු කොට රජගහ නුවර අතට ගමන ඇරැඹූහ.

බෝසතාණන් වහන්සේ රජගහ නුවරට පැමිණියේ එක් දවසෙක උදේ වරුවේ ය. පිඬු සිඟා යෑමට කාලය වූ බැවින් උන් වහන්සේ පාත්‍රය අතින් ගෙන නික්මුණා හ. එහි රජය කරවන බිම්බිසාර රජ බෝසතාණන් වහන්සේ ගේ අදෘෂ්ට මිත්‍රයෙකි. “මා මෙහි ආ බව රජුට දැන්නුවොත් මහත් සත්කාර සංග්‍රහ ලැබෙනු ඒකාන්ත ය. එහෙත් දන්වා යවා සංග්‍රහ ලැබීම නො සුදුසු ය. පිඬු සිගා ගොස් ලත් දැයින් යැපීම එයට වඩා උතුම් යැ” යි බෝසතාණන් වහන්සේ සිතූහ. එසේ සිතා පාත්‍රය ගෙන ගෙපිළිවෙළින් නුවර වීථියේ පිඬු සිඟා වැඩි සේක. එයට පෙර කිසි කලෙක නොදුටු අපූර්ව රූපශ්‍රීයෙන් බබලන බෝසතාණන් දුටු නුවරු විස්මිත වූහ. බෝසතාණන්ගේ රූපශ්‍රීයෙන් වශීකෘත වූවාහු තමන්ගේ වැඩ කටයුතු නවතා උන්වහන්සේ දෙස බලා ගත් වන ම සිටියාහ. “මේ නම් මනුෂ්‍යයෙක් නොවේ. මහා බ්‍රහ්මයා කිසි යම් අදහසකින් මිනිස් වෙසින් පැමිණ සිට යැයි කෙනෙක් කීහ. සමහරු, මේ බ්‍රහ්මයා නොවේ කලින් කල ලොවට එන විෂ්ණුහුගේ මනුෂ්‍යාවතාරයෙකි” යි කීහ. සමහරු, “මේ ශිව දෙවියෝයි” ද සමහරු, “මේ සඳ මඬලට අරක්ගත් සඳ දෙව්රජ යැ” යි ද තව කෙනෙක්, “මේ හිරුමඬලට අරක්ගත් සූර්යදිව්‍යරාජයා විය යුතු යැයි” ද තව කෙනෙක්, “මේ අනංගයා ම විය යුතුයැයි” ද තමතමන්ගේ ඇදහිලි අනුව කියන්නට වූහ. ගැඹුරට කරුණු සිතා බලන කිසි කෙනෙක් “මේ ඔය කියන කිසිවෙක් නොවේ. ලෝවැඩ පිණිස පහළ වූ කිසි යම් මහ පිනැති උත්තමයෙකැ” යි කීහ. රාජපුරුෂයෝ බිම්සර රජු වෙත ගොස් බැහැ දැක, “දේවයන් වහන්ස, රටට මහා ශාන්තියක් සැලැසෙන පෙර නිමිත්තෙක. “දෙවියෙක්ද මිනිසෙක්දැ”යි නොදනිමු. පෙර නොදුටුවිරූ විස්මය උපදවන රූපශ්‍රීයෙන් යුත් කෙනෙක් පැවිදි වෙසින් නුවර පිඬු සිඟා යෙති” යි කීහ. රජ ද සීමැදුරුකවුළුව හැර බලනුයේ මහසතාණන් දැක විස්මිත වැ බලා උන්නේ ය. “මේ ආශ්වර්ය කෙනක, දැකුම්කලු අඟපසඟින් යුක්තහ. ආරෝහපරිණාහ සම්පන්න හ. පිරිසිදු බබලන ඡවිචර්ණයෙන් යුත්හ. දුටුවන් පහදවන ඉරියව්වෙන් යුත්හ. දෙවියෙක් හෝ වෙන අමනුෂ්‍යයෙක් වී නම් ටික දුරක් ගොස් අදෘශ්‍යමාන වෙයි. මිනිස්සෙක් වී නම් කිසි තැනකට ගොස් සිඟාලත් ආහාර වළඳයි. තෙපි ගොස් බලා අවුත් මට කියවු” යැයි රජතුමා රාජපුරුෂයන් පිටත් කොට යැවීය.[1]

බෝසතාණන් වහන්සේ, පිඬු සිඟාගෙන වඩනාහු “මෙහි එන පැවිද්දෝ කොහි නවාතැන් ගනිද්දැ?” යි මිනිසුන් අතින් විචාරා, “අර පෙනෙන පාණ්ඩව පර්වතයේ නැගෙනහිර බලා පිහිටි ගල්තල්ලෙහි යැ” යි ඔවුන් කී බස් අසා ඒ අතට වැඩියහ. කන්ද නැග ගල්තල්ල ඇතුළට වැඩ, හිඳ ගෙන බොජුන් වළඳන්නට සැරසුණහ. බෝසතාණන් පස්සේ යමින් ඔබ කරනා සියල්ල විපරම් කරමින් ගිය රාජපුරුෂයෝ උන්වහන්සේ බොජුන් වළඳන්නා දැක වහා කන්දෙන් බැස රජු වෙත ගොස් තමන් දුටු සියල්ල සැළ කළාහ.

“මේ නම් මනුෂ්‍යයෙක, එහෙත් සෙසු මිනිසුන් බඳු කෙනෙක් නොවෙති. ආශ්චර්ය පුද්ගල කෙනෙක. ගොස් තොරතුරු විමසනු වටී” යැයි රජුට සිතුණේ ය. හේ මහ පිරිසක් කැටුව පිටත් වැ බෝසතාණන් වෙත පැමිණියේ ය.

රජ තෙම බෝසතාණන් දුටු කෙනෙහි ම උන්වහන්සේ ගේ වර්ණනා විෂයාතික්‍රාන්ත අනුපමෙය රූපශෝභාවෙන් වශීකෘත විය. ගරුබුහුමන් දක්වා පසෙක හිඳ කතාවට බටුයේ ය. “ඔබ ඉතා සියුමැලි කෙනෙක, තව ම තරුණ වියෙහි ය. පිඬු සිඟා යැපෙනු ඔබ වැන්නකුට නො වටී. පින්වතාණනි, මේ අංගමගධ දෙ රට විශාල ය. සරුසාර ය. මේ මුළු පෙදෙස දෙකට බෙදා කොටසක් ඔබට පිරිනමමි. ඉතිරි කොටස මම ගනිමි. මෙසේ අපි දෙදෙනා ම රට පාලනය කරම්හ” යි කී ය.

බෝසතාණන් වහන්සේ ඔහුගේ කථාව අසා, “මේ රජ මා නොහඳුනති” යි තමන් හඳුන්වන්නට සිතූහ. “මහරජ, භූමි ප්‍රදේශ වශයෙන් කෝශල රටට ඇතුළත් ශාක්‍ය නම් රටෙක් හිමවත් පාමුල ඇත. බොහෝ පෙර සිට ම පරම්පරා උරුමයෙන් රටට අධිපති වූ පාලනය කරන සූර්යවංශික වූ ශාක්‍ය නමින් ප්‍රකට පරම්පරාවෙක් ඇත. ජරා ව්‍යාධි මරණ යන දුක්වලින් ලොව පෙළෙන්නා දැක එයින් මිදෙන මඟක් සොයනු වස් මට අයත් රජකම හැර දමා ඒ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වීමි. විමුක්ති මාර්ගය සොයා යමි. එබැවින් ඔබ පිරිනමන රාජ්‍යයෙන් මට වැඩෙක් නැතැ” යි බෝසතාණෝ වදාළාහ.

එය ඇසූ කෙණෙහි ම රජුට කාරණය වැටහිණ. “පින්වතාණන් වහන්ස, ශාක්‍යදේශාධිපති ශුද්ධෝදන මහරජාණන් ගේ පුත් වු සිද්‍ධාර්ථකුමාරයන් සතර පෙර නිමිති දැක ගිහිගෙන් නික්ම ගොස් පැවිදි වැ බුදු වෙති” යි අසා ඇත්තෙමි. ළදරුවියේ සිට ම මා හා හසුන් හා තුටුපඬුරු හුවමාරුවෙන් මිතුරු වැ සිටින මගේ හිත මිතුරු වූ ඔබ වහන්සේ දැක්මෙන් ඉතා ප්‍රීති වෙමි. පින්වතාණන් වහන්ස, ඔබේ මනෝරථය සඵල වේවා. ඔබ වහන්සේ බුදු බව ලැබූ පසු කල් නො යවා තමන්ගේ නුවරට ද වඩින සේක් වා. ඔබ ලැබූ විමුක්ති සැපය අපට ද දී අප සනසන සේක්වා” යි රජ කී ය. බෝසතාණන් වහන්සේ ද “එසේ ය, බුදු වූ පසු එන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති රජ ද පිරිස ද බෝසතාණනට මහත් ආදර බුහුමන් දක්වා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. බෝසතාණන් වහන්සේ ද එදා රෑ ගිජුකුළු කඳු පෙදෙස අසපුවෙක වැස පසු දින උදේ විසාලා මහනුවරට යනු පිණිස එතැනින් පිටත් වූහ.

  1. මේ ඇසළ අටවක දා යැයි පාලි අටුවාහි පෙනෙතත් සර්වාස්තිවාදී පොත් වලද එබඳු දිනයක සටහනෙක් නැත.