“තවද පවිට මම දනිමි, කාමයෝ තගේ පළමු සේනාවයැ. ගුණධර්මයෙහි උකටලී බව දෙවෙනි සේනාව ය. බඩගිනි හා පවස තෙවෙනි සේනාව ය. ආහාරාදිය සෙවීමෙහි ආශාව සිවු වන සේනාව ය. චිත්ත චෛතසිකයන්ගේ මිලාන බව පස් වන සේනාව ය. බියසුලු බව සවන සේනාව ය. මේ මඟ වේ ද නැද්දැයි පිළිවෙත්හි සැකය සත් වන සේනාව ය. මකු බව හා සිත අවවාදයට නො නැමෙන දැඩි බව අට වන සේනාව ය. ලාභ කීර්ති සත්කාර හා නො නිසි මගින් ලත් යස ඉසුරු යන මෙයින් නැංග තෘෂ්ණා මානයෝ නව වන සේනාව ය. තමා උසස් තැනැ තැබීම හා මෙරමාට අවමන් කිරීම දස වන සේනාව ය.
“නමුචිය, මේ අකුශල රාශිය තගේ දස වැදෑරුම් සේනාව යි. මහණ බමුණන් පෙළන පාපී වූ තගේ ආයුධ රැස යි. ශූර නො වූයෙක් තගේ එ දස මරසෙන් නො දිනයි. ශූර තෙමේ ම උන් හැම බිඳ ජය ගනී. දිනීමෙන් වනාහි ඒකාන්ත සුවය ලබයි.
“ජය ගෙන මිස පෙරළා නො ඊමේ ලකූණක් වශයෙන් මුදු තණ ගසක් දරන යෝධයකු සේ 33 කොට මා සලකා ගනුව. මේ ක්ලේශ යුද්‍ධයෙන් පැරදුණොත්. ඒ මගේ ජීවිතයට නින්දා වේවා ! පැරැදී ජීවත් වීමට වඩා රණබිමැ වැටී මිය යෑම උතුමි.
“ඇතැම් මහණ බමුණෝ මේ ක්ලේශ සේනා මධ්‍යයෙහි වන්නෝ නො පැනෙත්. මනා පැවතුම් ඇතියන් නිවනට යන ප්‍රතිපත්ති මාර්ගය ද නො දනිත් යැ” යි වදාළ සේක.34
මෙ බස් ඇසූ වසවත් මරු කිසිත් නො බැණ පලා ගියේ ය.
දුෂ්කර ක්‍රියායෙහි යෙදුණු බෝසතාණන් වහන්සේ එයින් කිසි විශිෂ්ට ගුණ ලාභයක් නො දුටු සේක. සිතීම් සයුරෙහි කිමිද බලන සේක්,
“යමෙක් මෙ ලොවැ, දුෂ්කර ක්‍රියා කෙරෙද්ද, ඔවුහු මට සම හෝ හීන වෙති. මෙයට වැඩි තරමින් දුෂ්කර ක්‍රියා කරන්නට සමතෙක් නම් නැති. මේ සා දුෂ්කර ක්‍රියා කොටත් සම්බෝධිය නො ලැබීමි. එ බැවින් මේ බෝධියට මඟ නොවේ යැ”යි දුටු සේක.