බෝසතාණන් රජගෙන් නික්ම ගිය බව දත් සියල්ලෝද නුවර වැසියෝ ද හඬා වැලැපුණාහ. මුළු නුවර මළගෙයක් මෙන් විය. ප්‍රජාවතී ගෞතමී, පැටියා නැති වූ දෙනෙක මෙන්, ශෝකභරිත වූවා බිම වැතිර වැලපෙන්නට වූවා ය. යශෝධරාවෝ මුසපත් වැ වැටුණාහ. සේවිකාවෝ දිය ඉසීම් ආදි විසින් කළ සාත්තු නිසා බොහෝ වේලාවෙකින් පියෙවි සිහි ලද්දී සියගෙහි බිම වැතිර හැඬූ කඳුලෙන් කල් ගෙව්වා හ. ශුද්ධෝදන රජ ඇයට කිසි විපතක් වේ දෝ යි බියෙන් නිතර අවවාද කරමින් රාහුල කුමරු රැක ගැන්මෙහි මෙහෙයී ය. දෙව්දත් කුමරු හැර සෙසු සියලු ශාක්‍යයෝ “තමන් බලාපොරොත්තු වූ ශාක්‍යවංශිකයන් ගේ නැගීම නැවතිණැ”යි බොහෝ සෙයින් තැවුණාහ.
සතියක් මෙසේ ගෙවුණ තැන ඡන්නයා එහි ආයේ ය.[1] දුටු දුටුවෝ “සාමි දරුවන් ගෙන කොහි ගියෙහිද?” යි ඔහුට බැණ වදින්නට වූහ.
පෙරළා ආ ඡන්නයා දුටු යශෝධරාවෝ ඔහු බණවා “සාමිදරුවෝ කොහි ගියෝද? නුඹ කිසිවකුටත් ඇඟවීම් මාත්‍රයකුත් නොකොට සාමිදරුවන් කොහේදෝ ගෙන ගොස් දමා අවුත් දැන් බොරුවට කඳුළු වගුරුවති” යි තරවටු කළා ය. “ආර්යාවනි, සාමිදරුවන් ගේ සේවක වූ මම් උන්වහන්සේ කරණ නියෝගය පිළිපදිනුවා විනා අන් කුමක් කළ හැකියෙම් ද? මම් අඬා වැලැපෙමින් ගමන නවත්තන්නට කොතරම් වත් තැත් කෙළෙමි. බැරි ම වූ තැන උන්වහන්සේට නො දැනෙන්න ක්ෂණයෙන් ඔබවහන්සේ ගේ යහන් ගබඩාවේ දොර ළඟට අවුත් ඔබ පුබුදුවන්නට සිතා මහත් ශබ්දයක් කොට වහා ගියෙමි. ඔබ ඒ හඬින් පිබිද ආවා නම් ගමන නතර කරන්නට තුබුණි. එහෙත් කිසිමැ කෙනෙක් නො පිබිදුණාහ. කිසිම කෙනෙක් නාහ. සේවක වූ මම් ස්වාමියාගේ අණ පිළිපැද්දෙමි. මා කළ වරදෙක් නැතැ” යි ඡන්නයා කී ය. එයට පසු කිසි ම කෙනෙක් ඔහුට දොස් නො නැඟූහ.
ශුද්ධෝදන රජ ද පුත්‍රයාණන් ගැන බාරහාර වීමට ශාක්‍යවර්ධන දෙවොලට ගොස් ආවාහු ඡන්නයා දැක තොරතුරු අසා වැලැපෙන්නට විය. මේ අතර බෝසතාණන්ගේ කසීවස්ත්‍ර මිටියක් කොට බැඳ හිස තබා ගෙන නුවරවන් වැද්දා දුටු මිනිස්සු ඔහු රජු වෙත ගෙනාහ. රජ්ජුරුවෝ ඒවා දැක “මේවා කෙසේ ලද්දෙහි ද? කුමරුට විපතක් වත් කෙළෙහිදැ?” යි ඇසූහ. හේ සියලු පුවත කී ය. රජ බෝසතාණන් ගිය දිශාව ඔහුගෙන් දැනගත්තේ ය. පුත්‍රයාණන් සිය කැමැත්තෙන් ඔහුට දුන් දෑ ඔහුට ම වේවා” යි කියා යන අතෙක යන්නට ඔහුට සමු දුන. ඡන්නයා තමා ගෙනා ආභරණ ප්‍රජාවතී ගෞතමීනට බාර දුන්නේ ය.
රජුහුගේත් ප්‍රජාවතී ගෞතමී යශෝධරා ආදීන්ගේත් මහත් වැලපීම දුටු පෙරෙවි බමුණාත් මහ ඇමැතියාත් “ඔබ අවසර දෙතොත් අපි ගොස් කුමාරයාණන් කැඳවා ගෙනෙම්හ” යි කියා ඔවුන් අස්වැසූහ. හැඬුම් වැලැපුම් අඩු විය. රජ්ජුරුවෝ පෙරෙවියාත් ඇමැතියාත් පිටත් කැරැ යැවූහ. ඉක්බිති දෙවොලෙහි පූජකයන්ගේ නියමය පරිදි බෝසතාණන් දේව බලයෙන් ගෙන්වන්නට ව්‍රත පිරීමෙහි යෙදුණාහ.
අස්රියවල නැඟ වේගයෙන් පදවා ගිය පෙරෙවියා සහිත පිරිස දෙවෙනි දවසෙහි රජගහනුවර ද පසුකොට යන්නාහු, විසාලා මහනුවර දෙසට යන ගමනේ ගංගා නදියෙන් මෙ පිට මහ රුක් සෙවෙණෙක විචික්ත ව ඉන්නා බෝසතාණන් දුටුහ. ප්‍රීතියෙන් ඉපිල ගිය සිතැත්තෝ රිය නවතා එයින් බැස වහා බෝසතාණන් වෙත ගොස් වැඳ පසෙක ඉඳ ගත්හ. පියරජාණන් ඇතුළු හැම දෙනා මහත් සොවින් හඬන වැලපෙන නියාව කියා, “ඔවුනට එසේ දුකක් දීම ධර්මය නො වේ යැ යි ඔවුන් සනසනු “පිණිස කලක් රජය කරවා පසු ව පැවිදි වියැ හැක්කැ” යි ආදීන් කියා ආපසු යන්නට කැඳවූහ. බෝසතාණෝ ඔවුන්ගේ කථාව නිහඩව අසා හිඳ මෙසේ කියන්නට වූහ: “මාපියන්ගේ දරු සෙනෙහස මම දනිමි. එහෙත් අපේ ජීවිතය ගොදුරු කැරැගන්නා ජරා ව්‍යාධි මරණ යන මේ දරුණු දුක් තුන වඩාත් මගේ සිතට වැදිණ. එබැවින් එයින් මිදෙන මඟක් සොයන්නට ය මා සිත නැමුණේ. දැන් ඔවුන් සනසන්නට මා ගියත් කවර දා හෝ මරණය ආ විට ආයෙත් මේ හැඬුම් වැලැපුම් ඇති වෙයි. මගේ පියා තුළත් කුඩා මෑණියන් තුළත් යශෝධරා ආදීන් තුළත් ශෝකය ඇති කළේ මා යැ යි ඔබ කියති. මම. එය නො පිළිගනිමි. මපියාණන් ආදීන්ගේ ශෝකයට හේතුව ජීවිතයේ යථා තත්වය මුවහ කරණ ඒ අය තුළ ම පවත්නා අවිද්‍යාව යි. දූදරු නෑ මිතුරන් හා එක් වැ විසීම ස්වප්නයක් වැනි එකෙකි. ඔවුන්ගෙන් වෙන් වෙමැ යි හෝ වෙන්වූම්හයි හැඟෙන්නා හා ම ශෝකය ඇති වේ. පියවිප්‍රයෝගය ලොවැ ඉපිද ඉන්නා තාක් ම ඇති වන එකෙකි. එය වැළැක්විය නොහෙයි. එය වළක්වන්නට නම් ලොවින් මිදීගත යුතු ය. මේ සියලු දුකින් මිදීමට මඟ සොයා මා ඉදිරියට තැබූ පියවර ආපසු නො ගන්නෙමි. මගේ මනෝරථය මස්තක ප්‍රාප්ත කැරැගෙන මිස එසේ නැති වැ නෑදෑයින් වෙත නො එන්නෙමි.”
බෝසතාණෝ මෙබඳු වූ ම කරුණු තව දුරටත් වදාළහ. ඉක්බිති හුනස්නෙන් නැගී සිට පිටත් වැ ගියහ. පෙරෙවියාත් ඇමැතියාත් බෝසතාණන් වඩිනා මඟ දෙස බලා සිට “දැන් කුමක් කරමෝ ද? මහ රජුට මොනවා කියමුද?” යි කියා තමන් හා ආ රාජපුරුෂයන් කිහිප දෙනකු “අප්‍රසිද්‍ධ වේශයෙන් ගැවසෙමින් කුමාරයාණන් යන යන අතට ගොස් ආරක්ෂා සලස්වන්නැ”යි කියා එහි නවතා, තුමු පෙරළා කිඹුල්වතට ම ගියහ.
බෝසතාණන් වහන්සේ රජගහ නුවර පෙදෙසින් නික්ම විසාලා මහනුවර බලා වඩනාහු ගංගානදී තීරයට පැමිණියාහ. ගඟින් එගොඩ වූහ. විසාලා මහනුවරට වැඩ එය සමීපයේ වූ වින්ධ්‍යාකෝෂ්ඨයට පැමිණියාහ. එ සමයෙහි කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර නම් සෘෂි තෙම තුන්සියක් පමණ වූ තවුස් ගණයාට නායක වැ වින්ධ්‍යාකෝෂ්ඨ අසපුවෙහි වෙසෙයි. හේ සප්ත සමාපත්තිලාභී මහ තවුසෙකි. ශ්‍රාවකගණයාට ආකිංචඤ්ඤායතන භූමිය තෙක් ශමථභාවනා මාර්ගය පෙන්වා දෙයි. හෙතෙම එහි වැඩි බෝසතාණන් දැක සාදර වැ පිළිගෙන එහි නැවැතී භාවනා කරන්නට අවශ්‍ය සියලු සැප පහසුකම් සැලැස්වී ය. බෝසතාණෝ ද ඔහුගේ අවවාදයෙහි පිහිටා බවුන් වැඩූහ. කලින් ගිහි කලැ ආනපානසතිය වඩා පුරුදු බැවින් සිත සමාධිගත කිරීම ඔබට ලෙහෙසි කාරියෙක් විය. මෙසේ නොබෝ දිනකින් බෝසතාණෝ ද ආකිංචඤ්ඤායතන ධ්‍යානය ලැබූහ. ආළාර තවුසාණෝ බෝසතාණන් තමන්ගේ තත්ත්වයට ම නැංග නියාව දැක ඉතා පැහැදුණෝ ගෝල පිරිස දෙකොටසකට බෙදා කොටසක් බෝසතාණනට පැවරූහ. එතැන් සිට තමාට දායකයන් පිරිනමන සියලු සත්කාර බෝසතාණන් අතට ම යොමු කෙරෙති. ඉතිරි වූ දැයක් ඇතොත් තුමූ පිළිගනිති. හැම තන්හිදී මහ බෝසතාණනට ප්‍රමුඛස්ථානය දෙති. බෝසතාණෝ ද ආකිංචඤ්ඤායතන සමාපත්තිය පිරිසිඳ බලනුවෝ එය පරම විමුක්තිය නොව ලොවට ම ඇතුළත් තරමකට සිතැ සංසුන් බව ඇති කරන සමාධි මාත්‍රයක් බව දුටුහ. “මෙයටත් එහා කළ යුතු දැයෙක් නැත් දැ”යි ආළාරයන් විචාළහ. “නැතැ” යි “මේ පරම නිෂ්ඨාව යැ”යි ඔහු කීහ. ඉක්බිති බෝසතාණෝ මෙහි විසීමෙන් වන විශේෂ අර්ථයෙක් නැතැ යි සලකා. ආළාරයනටද ඒ බව දන්වා සමුගෙන ඒ අසපුවෙන් නික්මිය හ.
-
ඡන්නයා සිය කුලයට ගැළපෙන කුලයෙකින් නර්මදා නම් කුලදුවක පාවාගෙන සිටියේ ය. සිද්ධාර්ථ කුමාරයන් කවර දා හෝ පැවිදි වෙති” යි කථාව ශාක්‍යදේශයෙන් පිටත ද පැතිර පැවැත්තේ ය. සිද්ධාර්ථ කුමාරයන් පැවිදි වුණොත් තමාත් පැවිදි වන බව ඡන්නයා සිය ගෙහිදීත් කියයි. මෙයින් ඔහුගේ බිරිය වූ නර්මදා නිතර සැකෙන් බියෙන් කල් යැවා ය. තම සැමියා සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි පවත්වන ආදර භක්තිය නො ඉවැසුවා ය. බෝසතාණන් සමග ඡන්නයා ද ගිය බව ඇසූ ඕ තොමෝ සිද්ධාර්ථ කුමරුන් තම සැමියා රැගෙන ගියහ යි දෙස් දෙවොල් තබමින් හැඬුවා ය. මේ පුවත ද ඇය කියූ විලාපය ද මුඛ පරම්පරායෙන් ගෙන එන ලදු ව තවම නේපාලයේ පිටිසර ගම්වල ගැමි කථා අතරැ පවතී. ↑