මෙසේ කල් යවන මහත්මාණෝ ඒ වනයෙහි ජෛන පිළිවෙත් පුරන තවුසන්ගේ කෙලෙස් තවන ව්‍රතය පුරනුවෝ උඩු යැටි දත් එකට ගැටෙන සේ තදින් මුව පියා දිවෙන් උඩු තල්ල ගටා එලැඹැ සිටි සිහි ඇති වැ ස්ථිර සිතින් විමසමින් චිත්තසන්තානයෙහි කුශල පක්ෂය වඩමින් අකුශල පක්ෂය තැවූහ. මෙයින් කයෙහි දැඩි වෙහෙස ඇති විය. ශක්තිමත්තු විසින් අල්ලා ගෙන පෙළනු ලබන ශක්තිහීන පුරුෂයකුගේ සෙයින් උන්වහන්සේගේ කිසිලිවලින් ඩහ ගලන්නට වන. එහෙත් එයින් ඒ ව්‍රත පිරීමේ ධෛර්‍ය්‍ය හීන නොවී ය.
අප්‍රාණකධ්‍යානය වඩන බෝසතාණන් වහන්සේ එයින් වන කිසිම පීඩාවෙකින් පසු බට නොවූහ. එය දිගට ම වැඩූහ. බෝසතාණන් වහන්සේට එය වඩ වඩත් ම බලවත් පුරුෂයන් දෙදෙනකු දුබලයකු ගිනි අඟුරු වළකට දමා තවන කලෙක සෙයින් කයෙහි දැඩි දැවිල්ල විය. මෙසේ වූ දැඩි කාය දාහ හේතුයෙන් දවසෙක මුර්ඡිත වූවෝ සක්මන් මලුයෙහි ම වැටුණාහ. ඒ දුටු දේවතා කෙනෙක් “සිද්‍ධාර්ථ තවුසාණෝ කලුරිය කළහ” යි කීහ. ඔහු ගොස් ශුද්ධෝදන රජතුමාට ද බෝසතාණන් මළබවක් දැන්වූහ.31 “මා පුත් කලුරිය කෙළේ බුදු වී ද? නොවී දැ”යි රජු ඇසීය. බුදු වියැ නොහී ය, ප්‍රධාන භූමියෙහි ම වැටී කලුරිය කළහ’යි දේවතාවෝ කීහ.” බුදු නො වී මා පුතුගේ කාලක්‍රියාවෙක් නො වන්නේ යැ”යි කියා, රජ ඔවුන් බස් නො ඇදහීය.