“සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣංගා භාවිතා බහුලීකතා අපාරාපාරංගමනාය සංවත්තන්ති. කතමෙ සත්ත? සති- සම්බොජ්ඣංගෝ, ධම්මවිචයසම්බොජ්ඣංගෝ, විරියසම්බොජ්ඣංගෝ, පීතිසම්බොජ්ඣංගෝ, පස්සද්ධි සම්බොජ්ඣංගෝ, සමාධි- සම්බොජ්ඣංගෝ උපෙක්ඛා සම්බොජ්ඣංගෝ, ඉමෙ ඛො භික්ඛවෙ! සත්ත බොජ්ඣංගා භාවිතා බහුලීකතා අපාරාපාරංගමනාය සංවත්තන්ති.”
තේරුම :-
“මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත් දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහු ය. කවර සත් දෙනෙක් ද යත්? සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීතිසම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි- සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුය. මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත්දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන් නමැති පරතෙරට යාම පිණිස පවත්නාහ.”
මේ දේශනයෙන් සංසාරයෙන් එතරවීමට හේතු වන සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන ධර්ම සත බෝධ්‍යංගයෝ ය යි දැක් වූ සේක.
බොජ්ඣංග යනු බෝධි අංග යන වචන දෙක එක් වී සැදුණු වචනයකි. බෝධි යන වචනයෙහි අර්ථ කීපයක් ඇත්තේ ය. ඒවායින් මෙතැනට ගැලපෙන අර්ථ ඇත්තේ දෙකකි. එනම් “නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය ය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා ය” යන අර්ථ දෙක ය. නිවන් සොයන්නා වූ පින්වතුන්ට ඒ නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා වූ සත්ත්වයා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමට බාධක කරුණු බොහෝ ඇත්තේ ය.
ස්ත්‍යානමිද්ධ සංඛ්‍යාත යෝගකර්මයේ දී සිත හැකිළෙන ස්වභාවය ය, ඖද්ධත්‍ය නම් වූ සිත තැන්පත් නො වන ස්වභාවය ය, ලෝභාදි ක්ලේශයන් ගේ වශයෙන් සසර නැවතී සිටින ස්වභාවය ය, සසර නැවතීමේ උත්සාහයක් වශයෙන් පින් පව් කරන ස්වභාවය ය, කාමසුඛල්ලිකානුයෝගය ය, අත්තකිලමථානුයෝගය ය, උච්ඡේද දෘෂ්ටිය ය, ශාස්වත දෘෂ්ටිය ය යන මේවා ඒවායින් සමහරෙකි.
ආලෝකයේ ඇති නුවුව හොත් අන්ධකාරය දුරු නොවන්නාක් මෙන් සත්ත්වසන්තානයෙහි පවත්නා වූ නිර්වාණ ප්‍රතිවේධයට බාධක වූ ඉහත කී ස්ත්‍යානමිද්ධාදි ධර්මයෝ ඒවාට සර්වාකාරයෙන් ප්‍රතිපක්ෂ වූ ඒවා දුරු කරන්නා වූ ධර්මයන් සත්ත්වසන්තානයෙහි ඇති නුවුව හොත් නො දුරු වන්නාහ. බොජ්ඣංග නාමයෙන් හඳුන්වන්නේ නිර්වාණ ප්‍රතිවේධයට බාධක ධර්මයන් දුරු කරන, නසන ධර්ම සතෙකි. ඒවායේ නම් ඉහත දැක්විණ. සති ධම්මවිචයාදි ඒ ධර්මයෝ සත් දෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වූ ධර්ම සමූහයේ අංගයෝ ය’ යන අර්ථයෙන් ද, “නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන යෝගාවචරයා ගේ අංගයෝ ය” යන අර්ථයෙන් ද බොජ්ඣංග නම් වෙති.
මේ බෝධ්‍යංගධර්ම සත සක්විති රජුන්ට ඇති රත්න සත මෙන් බුදුසස්නෙහි ඇත්තා වූ රත්න සතක් බව “තථාගතස්ස භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මා සම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣංගරතනානං පාතුභාවො හොති” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේ ම “සත්තන්නං ඛො භික්ඛවෙ, බොජ්ඣංග රතනානං භාවිතත්තා බහුලීකතත්තා අදලිද්දොති වුච්චති” යනුවෙන් මේ බෝධ්‍යාංග රත්න සත භාවිත තැනැත්තා දිළින්දකු නො වන බව ද වදාරා තිබේ. මේ බෝධ්‍යංග ධර්ම ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් ලැබීමට හා ලෞකික රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබීමට ද තිබිය යුතු ය. එ බැවින් ලෝකෝත්තර මාර්ග ඵලධර්මයන් ලැබීම සඳහා යෝග කරන්නෝ ය, ලෞකික ධ්‍යාන සඳහා භාවනා කරන්නෝ ය යන සෑම දෙනා විසින් ම බෝධ්‍යංග වැඩිය යුතු ය. බෝධ්‍යංග ධර්ම ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය.
සියලු ම යෝගාවචරයන් විසින් බෝධ්‍යංග ධර්ම හැඳිනගත යුතු ය. ඒවායේ නිඃශ්‍රය දත යුතු ය. වඩන සැටි දත යුතු ය. බෝධ්‍යංගයන් ගේ වැඩීමට හේතු වන ධර්ම දත යුතු ය. ඒ ඒ බෝධ්‍යංගයන් වැඩිය යුතු නො වැඩිය යුතු කාල දත යුතු ය.
බෝධ්‍යංගයන්ගෙන් “සතිසම්බොජ්ඣංගය” යනු ඉහත සතිපට්ඨාන කථාවෙහි දැක්වුණු සිහිය ය. සත්ත්වයා ගේ චිත්ත පරම්පරාවට පාප පක්ෂයට වැටී පවතින්නට නො දී එය පවතින වැඩෙන තැන් වූ කාය වේදනා චිත්ත ධර්ම යන ආරම්මණයන් සිතට මතු කරදීම් වශයෙන් සිත ඒවායේ පිහිටවීම් වශයෙන් කුශල පක්ෂයෙහි ගමන් කිරීම සිදු කරවන්නා වූ ධර්මය සතිසම්බොජ්ඣංගය ය. එය කාය වේදනා චිත්ත ධර්ම සංඛ්‍යාත ස්වකීය විෂයයන්හි අනුක්‍රමයෙන් වැඩී ප්‍රමාද පක්ෂයට අයත් සියල්ල ක්‍රමයෙන් නැති කොට අප්‍රමාද පක්ෂය සම්පූර්ණ කොට අවසානයේ දී අර්හත්මාර්ග ඥානය උපදවන්නේ ය.
“සති” යන පාළි වචනය වෙනුවට භාවිත කරන සිංහල වචනය “සිහිය” යනු යි. එහෙත් සිංහල සිහිය යන වචනයෙන් සති යන පාළි වචනයෙන් අදහස් කරන අර්ථයට වැඩි දෙයක් කියවේ. එ බැවින් මේ බෝධිපාක්ෂික ස්මෘතිය හැඳින්වීමට සිහිය යන වචනයට විශේෂණයක් යොදා මාර්ගඥානයට හේතු වන සිහිය ය කියා ව්‍යවහාර කිරීම යෝග්‍ය ය. නිවන් ලබා දෙන සිහිය යි කිව ද යහපති. “ලෝකෝත්තර මාර්ගඥානය ලැබීමට උපකාර වන සිහිය, නිවන් ලැබීමට උපකාර වන සිහිය සතිසම්බොජ්ඣංගය’ යි දත යුතු ය. මේ සිහියට නිවන් ලබා දෙන සිහිය යයි කියන ලදුයේ එයින් ලබා දෙන උසස් දෙය අනුව ය. කාමාවචර රූපාවචර අරූපාවචර කුශලයන් හා භවභෝග සම්පත් ලැබීමට ද මේ සිහිය උපකාරක ය. එ බැවින් මේ නිවන් ලබා දීමට කලින් ඒවා ද ලබා දෙන බව දත යුතු ය.
“ධම්මවිචය සම්බොජ්ඣංගය” යනු සන්තති ඝනය, සමූහ ඝනය, කෘත්‍ය ඝනය, ආරම්මණ ඝනය යන ඝනසතරින් වැසී සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් පෙනී සිටින ආධ්‍යාත්මික බාහ්‍ය පරමාර්ථ රූපාරූප ධර්මයන් ප්‍රඥප්තිය බිඳ හැර, පෘථිවි ස්පර්ශාදි වශයෙන් ද, ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුප්පාදාදි වශයෙන් ද, අනිත්‍ය දුඃඛ අනාත්මාදි වශයෙන් ද නන් අයුරින් පිරිසිඳ දැනීමෙහි දැකීමෙහි සමත් වූ තියුණු නුවණ ය. එය විදර්ශනා භූමිය වූ ස්කන්ධාදි ධර්ම විෂයෙහි ක්‍රයෙන් වැඩී සකල සම්මෝහයන් දුරු කොට අවසානයේ අර්හත්මාර්ගඥානය වන්නේ ය.
“විරිය සම්බොජ්ඣංගය” යනු ඉහත සම්‍යක් ප්‍රධාන කථාවෙහි දැක්වුණු යෝගකර්මයේ දී නො පසු බැස එය කර ගෙන යා හැකි පරිදි සිතට අනුබල දෙන්නා වූ බලාපොරොත්තු තැනට පැමිණෙන තුරු සිත ඉදිරියට යවන්නා වූ බලවත් වීර්‍ය්‍යය ය. එය අනුක්‍රමයෙන් උපන් පව් දුරු කිරීමාදි කෘත්‍ය සතර සිදු කිරීම් වශයෙන් වැඩී වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ක්ලේශයන් දුරු කොට අවසානයේ දී බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ග ඥානයට ඉපදීමට සහාය වන්නේ ය.
“පීති සම්බොජ්ඣංගය” යනු යෝගක්‍රියාවේ දී යෝගාවචරයාගේ සිත පිනවන්නා වූ ප්‍රීතිය ය. කලක් කළ යුතු වන යම් කිසිවක් කිරීමේ දී කරන්නහු ගේ සිතට ප්‍රීතියක් ඇති නො වත හොත් ඔහුට එය කර ගෙන යා නො හැකි ය. භාවනාවෙහි යෙදී ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් උපදවා ගැනීම බොහෝ කල් ගත වන වැඩකි. එබැවින් එය මැනවින් කර ගෙන යා හැකි වීමට ඒ කටයුත්තෙහි ප්‍රීතියක් තිබිය යුතු ම ය. ප්‍රීතිය සම්බෝධයට අංගයක් වන්නේ එහෙයිනි. ඒ ප්‍රීතිය සිත පමණක් නො ව යෝගාවචරයන්ගේ කය ද පිනවන්නේ ය. සුදුසු සේ ආහාර පානාදිය නො ලබාත් යෝගාවචරයනට නිරෝගී ව ජීවත් විය හැකි වන්නේ ද මේ ප්‍රීතිය නිසා ය.
යෝග කර්මය ගැන ප්‍රීතිය නො ලබන්නා වූ යෝගාවචරයන්ට අරණ්‍යාදියෙහි වෙසෙමින් අල්ප ආහාර පානයෙන් යැපෙමින් වැඩි කල් භාවනාවෙහි යෙදිය හැකි නො වන්නේ ය. ප්‍රීතිය නො ලබන තැනැත්තා භාවනාවෙහි යෙදුණේ ද පසු බැස බැස ම එය කරන්නේ ය. එබැවින් ඔහුට යෝග කර්මය සඵල නො වන්නේ ය. මේ ප්‍රීතිය උපන් පාපයන් දුරු කිරීම් ආදි කෘත්‍ය සතර ගේ වශයෙන් කුශල පක්ෂයෙහි වැඩී භාවනාවෙහි නො සතුටු වූ අරති නම් වූ සූක්ෂ්ම ද්වේෂය හා ස්ත්‍යාන මිද්ධයන් ද ඒවාට පක්ෂ සකල ක්ලේශයන් ද දුරු කොට භාවනාරාමතා සංඛ්‍යාත ආර්‍ය්‍යවංශ ධර්මය සපුරා අවසානයේ දී සම්බෝධි සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගඥානයට සහාය වන්නේ ය.
“පස්සද්ධි සම්බොජ්ඣංගය” යනු භාවනා කිරීමේ දී යෝගාවචරයන්ගේ කායචිත්තද්වයෙහි ඇති වන වෙහෙස හා තැවිල්ල සන්සිඳවන්නා වූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි චෛතසික දෙක ය. සිතේ ප්‍රකෘතිය නිතර එක් අරමුණක නො සිට නානාරම්මණයන් කරා යාම ය. එක ම ඉරියව්වක වැඩි වේලාවක් තැබීමෙන් කයට අමාරුකම් ඇති වන්නාක් මෙන් ඒකාරම්මණයක පැවැත්වීමෙන් සිතට ද අමාරුකම් ඇති වන්නේ ය. සිත වෙහෙසට පත් වන්නේ ය. ඒකාරම්මණයක තබන කල්හි රිසි සේ නානාරම්මණයන් කරා යන්නට නො ලැබීමෙන් සිත සැලෙන්නට වන්නේ ය. සිතෙහි හට ගන්නා ඒ වෙහෙස හා සිතෙහි සැලීම හා තැවීම කායචිත්ත පස්සද්ධීන් විසින් සන්සිඳවනු ලැබේ. කාය චිත්තයන්ගේ සන්සිඳීම ම පස්සද්ධිසම්බොජ්ඣංගයය යි කිව ද වරද නැත. සිතෙහි ඒ වෙහෙස හා සැලෙන දැවෙන ස්වභාවය ඇති තාක් ඒ පුද්ගලයාට ප්‍රථමධ්‍යානාදි උසස් උසස් සමාධීහු ද ඥානයෝ ද නො ලැබෙත්. ඒවා ලැබීමට සිත සන්සිඳිය යුතු ම ය. එබැවින් පස්සද්ධිය ද සම්බෝධියේ අංගයක් වේ. එය උපන් පාපයන් දුරු කිරීම් ආදි කෘත්‍ය විෂයයෙහි අනුක්‍රමයෙන් වැඩී අවසානයේ දී ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදවීමට සහාය වන්නේ ය.
“සමාධි සම්බොජ්ඣංගය” යනු යෝගාවචරයාගේ සිත නානාරම්මණයෙහි වික්ෂිප්ත වන්නට නොදී නැවත නැවත එක ආරම්මණයක පිහිට වන්නා වූ ද, ආරම්මණයෙහි දැඩි කොට පිහිටවන්නා වූ ද, ඉහත සමාධින්ද්‍රිය සමාධිබල නාමයෙන් දැක්වුණු සමාධිය ය. එය අනුක්‍රමයෙන් වැඩී සිත වික්ෂේප කරන කාමච්ඡන්දාදි ක්ලේශයන් දුරු කොට අවසානයේ දී ලෝකෝත්තර මාර්ග ඥානය ඉපදීමට සහාය වන්නේ ය.
“උපෙක්ඛා සම්බොජ්ඣංගය” යනු යෝගාවචරයා ගේ චිත්ත සන්තානය අලස බවට පැමිණීමට හෙවත් හැකිළෙන්නට පසු බසින්නට නො දී සැලෙන්නට නො දී භාවනා කෘත්‍යයේ දී සිත සම ව තබන්නා වූ තත්‍රමජ්ඣත්තතා නම් වූ චෛතසිකය ය. යෝගාවචරයා ගේ චිත්ත සන්තානයෙහි වීර්‍ය්‍යය හීන වී සමාධිය බලවත් වුව හොත් අලස බව ඇති විය හැකි ය. සමාධිය හීන වී වීර්‍ය්‍යය අධික වුව හොත් එකල්හි උද්ධච්චය ඇති විය හැකි ය. එබැවින් හීන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බලවත් සමාධිය ද, බලවත් සමාධියෙන් යුක්ත වූ හීන වීර්‍ය්‍යය ද සම්බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ග ඥානය ඇති කිරීමට සමත් නො වෙති. ලෝකෝත්තර ඥානය ඇති වීමට වීර්‍ය්‍ය සමාධි දෙක සම ප්‍රමාණයෙන් තිබිය යුතු ය. එ බැවින් වීර්‍ය්‍ය සමාධි දෙක සම බවට පමුණුවන්නා වූ තත්‍රමජ්ඣත්තතාව හෙවත් උපෙක්ඛාව සම්බෝධියට අංගයක් වේ. ඒ තත්‍රමජ්ඣත්තතාව කාය වේදනාදි විෂයයෙහි අනුක්‍රමයෙන් වැඩී ලීන උද්ධච්ච නම් වූ චිත්තයා ගේ හැකිළෙන බව හා සැලෙන බව ද ඒවා පක්ෂ ක්ලේශයන් ද දුරු කොට සිත සම ව පවත්වා අවසානයේ දී ලොකෝත්තර මාර්ග ඥානය උපදවන්නේ ය.
මෙතෙකින් කරන ලදුයේ එක්තරා ක්‍රමයකින් බෝධ්‍යංග ධර්මයන් හැඳින්වීම ය. තේරුම් ගැනීමට පහසුවනු සඳහා තවත් ක්‍රමයකින් ඒ ධර්ම හඳුන්වනු ලැබේ.
ශමථ භාවනාව කරන්නහු ගේ සිත නානාරම්මණයන් කරා නො ගොස්, කාය කොට්ඨාසාදි භාවනාරම්මණයට ම නැවත නැවත පැමිණෙන්නා වූ ස්වභාවය ද, විදර්ශනා භාවනාව කරන්නහුගේ සිත නානාරම්මණයන් කරා නො ගොස් භාවනාවේ අරමුණ වූ ස්කන්ධාදි ධර්මයන් කරා ම නැවත නැවත පැමිණෙන ස්වභාවය ද නොහොත් භාවනාරම්මණය ම සිතට නැවත නැවත එන ස්වභාවය ද සති සම්බොජ්ඣංගය ය.
ශමථ භාවනාවෙහි දී කායකොට්ඨාසාදිය ද, විදර්ශනා කිරීමේ දී ස්කන්ධාදිය ද හොඳින් වැටහෙන හොඳින් පෙනෙන දැනෙන ස්වභාවය ධම්මවිචය සම්බොජ්ඣංගය ය.
අලස බවක් පසු බැසීමක් නැතිව හොඳින් භාවනාව කළ හැකි බව විරිය සම්බොජ්ඣංගය ය.
භාවනාවෙහි යෙදීමෙහි දී එය පිළිබඳ ව ලබන ආස්වාදය සතුට පීති සම්බොජ්ඣංගය ය.
වෙහෙසක් නැති ව, පීඩාවක් නැති ව, සැපසේ භාවනාව කළ හැකි ස්වභාවය පස්සද්ධි සම්බොජ්ඣංගය ය.
භාවනාරම්මණයෙහි හිත මනා කොට පිහිටන නො විසිරෙන නො සැලෙන ස්වභාවය සමාධි සම්බොජ්ඣංගය ය.
වීර්‍ය්‍ය සමාධීන් සම කරගෙන නිරුත්සාහයෙන් මෙන් භාවනාව කරගෙන යා හැකි ස්වභාවය උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.