උන්වහන්සේ කස්සක නම් ලෙනෙහි වාසය කළහ. ගොදුරු ගම ද ලෙනට නුදුරින් ම විය. එක දුප්පත් උපාසිකාවක් දරුවකු මෙන් සලකා ගෙන උන් වහන්සේට සත්කාර කළා ය. දිනක් ඒ උපාසිකාව කිසිවක් සොයා ගනු පිණිස වනයට යන්ට සැරසී, දුව අමතා, අසවල් තැන්වල පරණ සහල් හා කිරි ද ගිතෙල් ද පැණි ද ඇති බවත්, පරණ සහලින් බස පිස, තෙරුන් වහන්සේ පැමිණි කල්හි කිරි ගිතෙල් පැණි හා උන්වහන්සේට පිළිගන්වා ඇයට අනුභව කරන ලෙසත් කීවා ය. “මෑණියෙනි, ඔබ කුමක් අනුභව කරන්නෙහිද” යි ද කීවා ය. “මම හීල් බත් ටිකක් තිබී කාඩිදිය හා අනුභව කෙළෙමි” යි මහා උපාසිකාව කීවා ය. “ඔබට දවාලට කෙසේදැ” යි දූ විචාළා ය. කඩසහල් ටිකක් ගෙන පළා කොළත් සමඟ ඇඹුල් කැඳක් මට පිස තබන්නය” යි උපාසිකාව කීවා ය.
මේ කථාව කෙරෙන කල්හි මිත්ත තෙරුන් වහන්සේ පිඬු පිණිස ගොදුරු ගමට යනු පිණිස සිවුරු පොරවා පසුම්බියෙන් පාත්‍රය ගනිමින් සිටියහ. උන් වහන්සේට ඒ කථාව හොඳින් ඇසිණි. උන් වහන්සේ එය අසා තමන් වහන්සේට ම අවවාද කරගන්නාහු “මහා උපාසිකාව කාඩිදිය හා හීල් බත් ගත්තා ය, දවල් ද ඕ තොමෝ ඇඹුල් කැඳ බොන්නී ය, තට දීම පිණිස පරණ සහල් ආදිය තිබෙන තැන් කියන්නී ය, තා ගෙන් ඕ තොමෝ ඉඩමක් කඩමක් හෝ මිල මුදල්ක හෝ අන් දෙයක් හෝ ලබන්නට බලාපොරොත්තු නො වන්නී ය. ඕ තොමෝ ත්‍රිවිධ සම්පත්තිය පතා ම තට දෙන්නී ය, නුඹ ඇයට ඒ සම්පත් ලබා දීමට සමත් වන්නෙහි ද? තමන් නො කා නො බී දුකසේ දෙන මේ ආහාරය රාග සහිත ව ද්වේෂ සහිත ව මෝහ සහිත ව සිට වළඳන්නට නො වටනේ ය” යි පාත්‍රය නැවතත් පසුම්බියෙහි ලා සිවුරු ගැටවටු මුදා ලෙනට පිවිස පාත්‍රය ඇඳ යට තබා සිවුරු තැන්පත් කොට තබා “රහත් නො වී මේ ලෙනෙන් බැහැරට නො යමි” යි තදින් ඉටා වැඩහුන් සේක.
උන් වහන්සේ කලක පටන් ම රහත් වීමේ බලාපොරොත්තුවෙන් මහත් වීර්‍ය්‍යයෙන් මහණදම් පුරමින් විසූ උතුමෙකි. එ බැවින් මහත් සංවේගයෙන් බලවත් වීර්‍ය්‍යයෙන් ඒ අවස්ථාවෙහි භාවනාවෙහි යෙදුණු උන් වහන්සේ පෙරවරු කාලයේදී ම සව් කෙලෙසුන් නසා රහත් වූහ. උන් වහන්සේ රහත් වී මහත් සොම්නසින් වැඩ සිටින වේලෙහි ලෙන දොරකඩ ගසෙහි වෙසෙන දේවතාවා ද ඒ බව දැන මහත් සොම්නසට පැමිණ,
“නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම,
යස්ස තෙ ආසාවා ඛීණා දක්ඛිණෙය්‍යො’සි මාරිස” යි
උදක් අනා “ස්වාමීනි, නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලු උපාසිකාවෝ දුකින් මිදෙන්නාහ” යි කී ය. තෙරුන් වහන්සේ හුනස්නෙන් නැගී ලෙන් දොර හැර බලා, පෙරවරු කාලය ම බව දැන පා සිවුරු ගෙන ගොදුරු ගම බලා වැඩි සේක.
ළදැරිය ද බත් පිස තබා සොහොයුරන් වහන්සේ දැන් දැන් වැඩම කරනු ඇතය ය යි මඟ දෙස බලමින් සිටියා ය. ඕ තොමෝ තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍රය ගෙන එය ගිතෙල් පැණි සහිත කිරිබතින් පුරවා තෙරුන් වහන්සේ ගේ අතෙහි තැබීය. තෙරුන් වහන්සේ “සුවපත් වේවා” යි කියා වැඩම කළහ. ඕ තොමෝ ද තෙරුන් වහන්සේ දෙස බලාගත් වන ම සිටියා ය. එදින් තෙරුන් වහන්සේ ගේ සිරුර වෙනදා සේ නො වී ය. මුහුණ තැරියෙන් ගැලවුණු ලා තැඹිලි ගෙඩියක් සේ පැහැපත් ව තිබිණ. උන් වහන්සේ ගේ ඉන්ද්‍රියයන් පහන් ව තිබිණ. මහා උපාසිකාව වනයෙන් අවුත් “දුවේ, නුඹේ සහෝදරයා වැඩි සේක්දැ” යි ඇසුවා ය. දුව සියලු පුවත ඇයට කීවා ය. ඕ තොමෝ “අද මාගේ පුත්‍රයා ගේ පැවිද්ද මස්තකප්‍රාප්ත වීය” යි දැන, “දරුව මාගේ පුත්‍රයාණෝ මතු බුදුසස්නෙහි උකටලී නො වන්නාහ” යි කීවා ය.
5. මාගේ බුදුපියාණන් වහන්සේගෙන් මා හට ලබා ගත හැකි දායාදය වන සප්තාර්‍ය්‍ය ධනය වටිනාකම පමණ කළ නො හෙන ධනයෙකි. සතරමාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධනය ද වටිනා කම පමණ කළ නො හෙන ධනයෙකි. ඒ දායාදය මා විසින් ලබා ගත යුතු ම ය. මාපියනට අකීකරු ව හැසිරෙන ගුණ හීන දරුවෝ මා පියන් සතු උසස් දෑ නො ලබන්නාහ. මා පියෝ ඒවා හොඳ දරුවන්ට අත්පත් කරන්නාහ. ලොවුතුරා බුදුපියාණන් වහන්සේට කීකරු නොවන උන් වහන්සේගේ සිත් නො ගන්නා අකීකරු බුද්ධ පුත්‍රයෝ උන් වහන්සේ සතු අලෞකික ධනය නො ලබන්නාහ. උන් වහන්සේ තමන් වහන්සේගේ දරුවනට අනුශාසනා කළේ :-
“යං භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤගාරානි, ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, අයං වො අම්හාකං අනුසාසනී”
යනුවෙන් වෘක්ෂමූල ශුන්‍යාගාරයන්ට එළඹ ධ්‍යාන කිරීමට ය. මා විසින් එය කොට බුදුන් වහන්සේ ගේ නවලෝකෝත්තර දායාදයට හිමියකු විය යුතුය” යනාදීන් බුදුන් වහන්සේගේ දායාදයෙහි මහත් බව සිතන්නහුට ද විරියසම්බොජ්ඣංගය උපදී.
6. මාගේ ශාස්තෘන් වහන්සේ වැනි තවත් ශාස්තෘවරයෙක් ලොව නැත. මාගේ ශාස්තෘන් වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි ද අභිනිෂ්ක්‍රමණය කිරීමෙහි ද, ලොවුතුරා බුදුබවට පැමිණීමෙහි ද, දම්සක් පැවැත්වීමෙහි ද, යමාමහ පෙළහර කිරීමෙහි ද දෙව්ලොවින් බැසීමෙහි ද, ආයු සංස්කාරය හැරීමෙහි ද, පිරිනිවීමෙහි ද, දහසක් ලෝදා කම්පා විය. එබඳු බුදු කෙනකුන්ගේ සස්නෙහි පැවිදි ව වෙසෙන මා හට කා බී නිදා ගැනීමෙන් කල් යැවීම නො හොබනේ ය” යනාදීන් ශාස්තෘන් වහන්සේගේ මහත් බව මෙනෙහි කිරීමෙන් ද විරියසම්බොජ්ඣංගය වැඩේ.
7. මම දැන් හීන ජාතිකයෙක් නො වෙමි. අසම්භින්න මහාසම්මත රාජපරම්පරාවෙන් පැවත එන සුද්ධෝදන මහ රජතුමා ගේ මුණුබුරු රහල් හිමියන්ගේ සොහොයුරෙක් වෙමි. සර්වඥ පුත්‍රයකු වූ මා විසින් නිකම් ම වාසය කරන්නේ නම් එය මාගේ ජාතියට නො හොබනේ ය” යනාදීන් මෙනෙහි කිරීමෙන් ද විරියසම්බොජ්ඣංගය පහළ වේ.
8. “සැරියුත් මුගලන් මහ තෙරුන් වහන්සේලා ද, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද වීර්‍ය්‍යයෙන් ම ලෝකෝත්තර ධර්මයන් ලැබූහ. මා විසින් මාගේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මඟ යා යුතු ය” යනාදීන් මෙනෙහි කරන්නහුට ද විරියසම්බොජ්ඣංගය උපදනේ ය.
9. සැදැහැතියන් දෙන දානය බඩ පුරා වළඳා, ඒ මේ අත පෙරළෙමින් ඈනුම් හරිමින් නිදන, ඉතිරි කාලයත් සම්ඵප්‍රලාපයෙන් ගත කරන, අලසයන් බොහෝ කොට සේවනය කරන, අලසයන් හා එක්ව වාසය කරන තැනැත්තාට ද ඒ අලස බව බෝවේ. පලක් නැති ව විනෝදය පිණිස කථා කරමින් සිටීමට සහභාගී කරවා ගැනීම් වශයෙන් අලසයෝ අන්‍යයන් ගේ වැඩට ද බාධා කරති. එබැවින් ඔවුන් ඇසුරු කරන්නන්ට විරියසම්බොජ්ඣංගය ඇති නො වේ. අලසයන් හා එක් ව විසීමෙන් විරියසම්බොජ්ඣංගය ඇති වීමට බාධා වී තිබෙන තැනැත්තන්ට ඔවුන් හා ආශ්‍රය හැර දැමීම විරියසම්බොජ්ඣංගය ඇති වීමට කරුණක් වේ. අනලස වූ බලවත් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ හිස් ව කාලය ගත නො කරන්නා වූ උතුමන් ඇසුරු කරන තැනැත්තන්ට එයින් විරියසම්බොජ්ඣංගය ඇති වේ.
10. පෙර සෝමමිත්ත නම් වූ ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූ බමුණෙක් බුදුසස්නෙහි පැවිදි ව උපසම්පන්නව විමල නම් වූ ස්ථවිර කෙනකුන් ඇසුරු කර ගෙන වත්පිළිවෙත් පුරමින් විසී ය. විමල තෙරුන් වහන්සේ වනාහි නිතර නිදි කිරන අලස තැනැත්තෙකි. සෝමමිත්ත තෙරණුවෝ රෑ දාවල් දෙක්හි නිකම් ම නිදන අලසයකු ඇසුරු කිරීම කවර ගුණයක්දැ යි සිතා විමල තෙරුන් වහන්සේ ගැන කලකිරී මහ කසුප් තෙරුන් වහන්සේ වෙත එළඹ, උන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා විදසුන් වඩා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූහ. රහත් වූ සෝමමිත්ත තෙරුන් වහන්සේ අලස කමින් හිස් ජීවිතයක් ගත කරන විමල තෙරුන් වහන්සේ උත්සාහවත් කරවනු වස් මේ ගාථා වදාළ හ.
“පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ,
එවං කුසීතමාගම්ම සාධුජීවි විසීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං
පවිචිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි,
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ.”
තේරුම :-
“මිනිසකුගේ බර ඉසිලීමට ප්‍රමාණ නො වන කුඩා ලී කැබෙල්ලක් ගත් තැනැත්තා යම් සේ මහ සයුරෙහි ගැලේ ද, එමෙන් අලසයා ඇසුරු කර වෙසෙන යහපත් තැනැත්තා ද අලසයා නිසා සංසාර සාගරයේ ගිලේ. ඒ නිසා වීර්‍ය්‍ය නැත්තා වූ අලසයා දුරු කරන්නේ ය.
විවේකය භජනය කරන්නා වූ නිවනට යැවූ සිත් ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තා වූ පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා නිතර වාසය කරන්නේ ය” යනු යි.
මේ අවවාදය අසා කලින් අලසව විසූ විමල ස්ථවිරයෝ සංවේගය ලැබ විදර්ශනා වඩා සියලු කෙලෙසුන් නසා රහත් වූහ. අලසයන් ගෙන් වෙන් වීමෙන් හා වීර්‍ය්‍යවත් පුද්ගලයන් භජනය කිරීමෙන් විරියසම්බොජ්ඣංගය උපදින බව හා වැඩෙන බව මේ කථාවෙන් තේරුම් ගත හැකි ය.