අකීර්ති පණ්ඩිතයෝ මාපියන් ගෙන් තමන්ට හිමි වූ අසූ කෙළක් ධනය දන් දී පැවිදිව අහිදීප නම් වූ දිවයිනක පන්සලක් කර ගෙන විසූහ. උන් වහන්සේ ආහාර පිණිස කොහිවත් නො ගොස් කරගස්වල ගෙඩි ඇති කල්හි ගෙඩිත්, නැති කල්හි කොළත් ආහාර කර ගෙන එහි ම විසූ හ. උන් වහන්සේගේ ශීල තේජසින් සක් දෙවිඳු ගේ පඬුපුල් අස්න හුණු වී ශක්‍රයා මිනිස් පියස බලනුයේ උග්‍ර තපස් ඇති අකීර්ති තාපසයන් වහන්සේ දැක, “මේ තෙමේ මාගේ සම්පත්තිය උදුරා ගැනීමට වත් මේ තපස කරන්නේ දැයි විමසිය යුතුය” යි සිතා මහබෝසතාණන් වහන්සේ කරකොළ තම්බා වළඳන්නට සූදානම් වන කල්හි බ්‍රාහ්මණ වේශයෙන් එතැනට පිඬු සිඟා ආයේ ය. මහ බෝසතාණන් වහන්සේ පිඬු පිණිස පැමිණ සිටින බමුණා දැක, “බොහෝ කලකින් ප්‍රතිග්‍රාහකයකු දුටිමි” යි ඉතා සොම්නසට පැමිණ පිසූ භාජනය සමඟ ම කරකොළ සියල්ල ම ඔහු වෙත ගොන ගොස්, තමන් වහන්සේ පිණිස මඳකුදු ඉතිරි කර නො ගෙන ලොවුතුරා බුදු බව පතා සියල්ල ම බ්‍රාහ්මණයා ගේ භාජනයෙහි බහාලූහ. බ්‍රාහ්මණයා එය ගෙන අතුරුදහන් විය.
මහබෝසතාණන් වහන්සේ දෙවනු ව ආහාර නො පිස, ප්‍රීති සුවයෙන් ඒ දින ගත කර, පසු දිනයෙහි ද කර කොළ තම්බා තබා පන්සල් දොරකඩ වැඩ සිටියහ. ශක්‍රයා එදා ද එසේ ම පිඬු සිඟා ආවේ ය. මහාසත්ත්වයන් වහන්සේ එදින ද සියල්ල ම ඔහුට පිළිගන්වා නිරාහාර ව ප්‍රීතියෙන් ම ඒ දිනයත් ගත කළහ. තුන්වන දිනයේ ද කර කොළ තම්බා තබා හුන් කල්හි පෙර සේම බ්‍රාහ්මණයා පිඬු පිණිස පැමිණියේ ය. ‘දෙදිනක් නිරාහාරව සිටියෙමි’ ය කියා කිසි පැකිළීමක් නැති ව තමන් වහන්සේ පිණිස මඳකුදු ඉතිරි කර නො ගෙන එදිනත් සියල්ල ම බ්‍රාහ්මණයාට දුන්හ. මහබෝසතාණෝ දවල් කාලයෙහි පන්සල් දොර කඩ වැඩහිඳ තෙදිනක් නිරාහාර ව විසීමෙන් වූ මහත් දුබල බවක් ඇත ද එය ගැන කිසි කම්පාවක් නැති ව තමන් වහන්සේ දුන් දානය මෙනෙහි කරමින් ප්‍රීතිවෙමින් සිටින කල්හි, ශක්‍රයා පෙනී සිට උන් වහන්සේගෙන් කරුණු විචාරා පැහැදී, වර කීපයක් ද දී, දෙව්ලොවට ගියේ ය. බෝසතාණන් වහන්සේට තමන් සතු අසූ කෝටියක් ධනය දන් දීමෙන් ලැබුණු ප්‍රීති සුඛයට වඩා මහත් ප්‍රීතියක් ලුණුත් නැති කරකොළ දන් දීමෙන් ලැබිණ. තෙදිනක් නිරාහාර ව සිට එය කළ හැකි වූයේ එහෙයිනි. ධනවතකු දහස් ගණන් ධනය වැය කොට මහදන් දී ලබන ප්‍රීතියට වඩා මහත් ප්‍රීතියක් සුළු දෙයක් දී යෝගාවචරයකුට ලැබිය හැකි බව මේ ප්‍රවෘත්තියෙන් දත හැකි ය.
“ලූඛපුග්ගලපරිවජ්ජනතා” යනුවෙන් දැක්වෙන රළු ගුණැති පුඟුලෝ නම් ක්‍රෝධ ඊෂ්‍යා මානයන් අධික ව ඇත්තා වූ අනුන්ට පීඩා කරන අනුන් හෙළා තළා කථා කරන නිතර කිපෙන පුද්ගලයෝ ය. එවැනි පුද්ගලයන් හා එක් ව වාසය කරන තැනැත්තාට නිතර පීඩා විඳින්නට සිදුවේ. එද ප්‍රීතියට බාධාවෙකි. මොහු කුමක් කියා ද කුමක් කෙරේදැ යි නිතර බියෙන් සැකයෙන් පරෙස්සමෙන් වාසය කරන්නට සිදු වෙයි. එද ප්‍රීතියට බාධාවෙකි. එසේ සැකයෙන් බියෙන් වාසය කරන තැනැත්තාට බුද්ධගුණාදිය මෙනෙහි කොට ප්‍රීතියක් ඇති කර ගැනීමට ද අපහසු වේ. එබැවින් එබඳු පුඟුලන් ගෙන් ඈත් වීම පීතිසම්බොජ්ඣංගයට හේතු වේ.
අනුන්ගේ යහපතට කැමති කරුණාව මෛත්‍රිය ඇති සත්පුරුෂයන් හා එක්ව වාසය කරන්නා වූ තැනැත්තාට ඒ පින්වතුන්ගෙන් තමන්ට වන යහපත නිසා ද, ඔවුන්ගේ ප්‍රිය කථා ඇසීම නිසා ද නිතර ප්‍රීතිය ඇති වේ. එබැවින් එබඳු පුඟුලන් සේවනය පීතිසම්බොජ්ඣංගයට හේතු වේ.