සියලු ම යෝගාවචරයන් විසින් බෝධ්‍යංග වැඩිය යුතු වුව ද සෑම බෝධ්‍යංගයක් ම සැම අවස්ථාවේදී ම වැඩිය යුතු නො වේ. ඒ ඒ බෝධ්‍යංගය නො වැඩිය යුතු වැඩිය යුතු කාලයන් දැන ගෙන කාලයට සුදුසු පරිදි බෝධ්‍යංග වැඩීම කළ යුතු ය.
“යස්මිං භික්ඛවෙ සමයෙ ලීනං හොති චිත්තං, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො උපෙක්ඛා-සම්බොජ්ඣංගස්ස භාවනාය”
යනුවෙන් යම් සමයෙක් හි සිත හැකිළී පවත්නේ නම් (අලස වී තිබෙන්නේ නම්) එය පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීමට ද, සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු කාලය බව වදාරා තිබේ. සිත අලස වී තිබෙන අවස්ථාවෙහි ඒවා නො වැඩිය යුත්තේ ඒ බෝධ්‍යංගයන්ට අලස වූ චිත්තය නඟා සිටුවන්නට නුපුළුවන් බැවින් ඒ බෝධ්‍යංගයන් වැඩීමේ දී අලස වූ චිත්තය සමහර විට වඩාත් අලස බවට පැමිණිය හැකි බැවිනි.
“යස්මිං ච භික්ඛවෙ, සමයෙ ලීනං හොති චිත්තං, කාලෙ තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ය භාවනාය, කාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් සමයක සිත හැකිළී පවත්නේ නම් එය ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද සුදුසු කාලය, සුදුසු අවස්ථාව බව වදාරා තිබේ. සිත අලස බවට පැමිණ තිබෙන අවස්ථාව ධම්මවිචයාදි බොජ්ඣංග තුන වැඩීමට සුදුසු අවස්ථාව වන්නේ, ඒවා වැඩීමෙන් අලස ගතිය දුරු වී සිත වේගවත් වන බැවිනි. ධම්මවිචයාදි බොජ්ඣංගයෝ දුබල වූ සිත නඟා සිට වන බොජ්ඣංගයෝ ය.
“යස්මිං භික්ඛවෙ, සමයෙ උඬතං චිත්තං හොති අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය අකාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් කලෙක සිත නො සන්සුන්බවේ ද ඒ අවස්ථාව ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද, විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු අවස්ථාව බව වදාරා තිබේ. නො සන්සුන් සිත සන්සිඳවීමට ඒ බෝධ්‍යංගයෝ සමර්ථ නො වෙති. සිත නො සන්සුන් අවස්ථාවෙහි ධම්මවිචයසම්බොජ්ඣංගාදි තුන වැඩීම මහ ගිනිකඳකට තවත් දර දමා පවන් සැලීම වැනි ය. එයින් සිත වඩාත් නො සන්සුන් බවට පැමිණෙන්නේ ය.
“යස්මිං භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් සමයෙක්හි සිත නො සන්සුන් වේ ද එය පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට ද සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද, උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද කාලය ය යනු එහි තේරුමයි. පස්සද්ධි සම්බොජ්ඣංගාදි ඒ බොජ්ඣංග තුන සැලෙන්නා වූ නොසන්සුන් වූ සිත සන්සිඳවීමට සමර්ථ බෝධ්‍යංගයෝ ය. වතුර ඉසින කල්හි ඇවිලෙන ගින්න නිවී යන්නාක් මෙන් ඒ බෝධ්‍යංග වැඩීමෙන් නො සන්සුන් සිත සන්සිදෙන්නේ ය.
“සති ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි” යි වදාළ හෙයින් සිත අලස ව පවත්නා වූ ද නො සන්සුන් ව පවත්නා වූ ද සැම කල්හි ම සිහිය වුවමනා ය. එබැවින් සතිසම්බොජ්ඣංගය සියලු කල්හි පැවැත්විය යුතු ය.