රාගාදි මානසික රෝග සුව කිරීමේ බලය පමණක් නොව කායික රෝග සුව කිරීමේ බලයක් ද බෝධ්‍යංගයන්හි ඇත්තේ ය. එක් කලෙක ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රෝගාතුර වී පිප්ඵලී ගුහාවෙහි වැඩ සිටි සේක. තථාගතයන් වහන්සේ එක් සන්ධ්‍යා කාලයෙක එහි වැඩ වදාරා සුව දුක් විචාරා මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට :-
“සත්ති මෙ කස්සප, බොජ්ඣංගා
මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා
අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති”
යනාදීන් බෝධ්‍යංග ධර්මය දේශනය කළ සේක. ඒ දේශනය ආදරයෙන් ගෞරවයෙන් අසා ගෙන සිටීමෙන් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ නිරෝගී වූ සේක. ඒ දේශනය අසමින් සර්වඥශාසනයා ගේ නෛර්‍ය්‍යානිකත්වය සිතන්නා වූ තෙරුන් වහන්සේගේ සිත ප්‍රසන්න විය. එයින් ලෙය ද ප්‍රසන්න විය. හොඳ චිත්තජ රූප ඇති වීමෙන් සකල ශරීරය ම පිනා ගියේ ය. එයින් උන් වහන්සේ ගේ ශරීරයෙහි වූ රෝගය පියුම් පතෙහි දිය බින්දු මෙන් ශරීරයෙන් පහ ව ගියේ ය.
එක් කලෙක මුගලන් මහ තෙරුන් වහන්සේ රෝගාතුර වී ගිජුකුළුපව්වෙහි වැඩ විසූ සේක. තථාගතයන් වහන්සේ උන් වහන්සේ වෙත ද වැඩ වදාරා බෝධ්‍යංග ධර්ම දේශනය කළ සේක. එයින් උන්වහන්සේගේ රෝගය ද සුව විය.
බුදුරජාණන් වහන්සේ ද එක් අවස්ථාවක දී රෝගාතුර වී වේළුවනාරාමයෙහි වැඩ විසූ සේක. ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ දක්නට එළඹ :
“සත්ති මෙ භන්තෙ, බොජ්ඣංගා
භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා
අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති
යනාදීන් තථාගතයන් වහන්සේට බෝධ්‍යංග ධර්ම දේශනය කළ සේක. එය අසා තථාගතයන් වහන්සේ ද නිරෝගී වූ සේක.
බෝධ්‍යංග ධර්මවල රෝග සුව කිරීමේ ශක්තියක් ඇති බැවින් අද දක්වා රෝග සුව කරවන පිරිත් වශයෙන් ඒ සූත්‍ර ධර්ම භාවිත කරනු ලැබේ. බෝධ්‍යංග ධර්ම ගැන දැනීම ඇති ඒවා වඩන පින්වතුන්ට රෝගාතුර වූ අවස්ථාවල දී බෝධ්‍යංග ධර්ම ඇසීමෙන් බොහෝ ගුණ ලැබිය හැකි ය. සාමාන්‍යයෙන් ඒවා සැදැහැයෙන් ගෞරවයෙන් අසන සැම දෙනාට ම එයින් ගුණ ලැබිය හැකිය. යෝගාවචරයන් විසින් රෝගී වූ සබ්‍රහ්මචාරීන්ට හා උපස්ථායකයන්ටත් රෝග සුව කිරීම සඳහා බොජ්ඣංග පිරිත කියන්නට පුරුදු කර ගැනීම හොඳ ය. යෝගාවචරයකු විසින් කියන පිරිතෙන් සාමාන්‍ය කෙනකු කියන පිරිතකට වඩා ගුණ ලැබෙන්නේ ය.