“අත්ථි භික්ඛවෙ, උපෙක්ඛා සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා, තත්ථ යොනිසොමනිසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා.”
“මහණෙනි, උපේක්ඛා සම්බොජ්ඣංගයට හේතු ධර්ම ඇත්තේ ය. ඒ ධර්මයන් කෙරෙහි යෝනිසෝමනස්කාරය බහුල කොට පැවැත්වීම නූපන් උපේක්ඛා සම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් උපේක්ඛා සම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද ආහාරය වන්නේ ය” යනු එහි අදහසයි.
මෙහි උපේක්ඛාසම්බොජ්ඣංගයට හේතු ධර්මය යි දැක්වෙන්නේ උපෙක්ඛාව ම ය. උපේක්ඛාසම්බොජ්ඣංගය හා එහි ප්‍රයෝජනයත් නුවණින් මෙනෙහි කිරීම් බහුල බව උපෙක්ඛා සම්බොජ්ඣංගයට හේතු වේ. අටුවාවෙහි දැක්වෙන උපෙක්ඛා සම්බොජ්ඣංග හේතු පසක් ද ඇත්තේ ය. ඒ මෙසේ ය :-
“පඤ්චධම්මා උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. සත්තමජ්ඣත්තතා. සංඛාරම්ජ්ඣත්තනා, සත්ත සංඛාරකෙළායනපුද්ගල පරිවජ්ජනතා, සත්තසංඛාරමජ්ඣත්ත-පුග්ගලසෙවනතා, තදධිමුත්තතාති.”
“ධර්මයෝ පස් දෙනෙක් උපේක්ඛා සම්බොජ්ඣංගයා ගේ උත්පාදය පිණිස පවතිත්. ඔවුහු නම් සත්ත්වයන් කෙරෙහි මැදහත් බව ය, සංස්කාරයන් කෙරෙහි මැදහත් බවය, සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන අතිලෝභීන්ගෙන් වෙන්වීමය, සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සේවනය කිරීම ය, උපේක්ෂා සම්බෝධ්‍යංගය ඉපදවීමෙහි නැමුණු සිත් ඇති බව ය” යන මොහුය.
සත්ත්වයෝ නම් මනුෂ්‍යාදීහු ය. සංස්කාරයෝ නම් වස්ත්‍රාභරණාදි වස්තූහු ය. සත්ත්ව සංස්කාරයන්ට ඇලුම් කිරීමය, විරුද්ධ වීමය යන දෙක දුරු කිරීම වූ මධ්‍යස්ථ භාවය උපේක්ෂා සම්බෝධ්‍යංගයට හේතු වේ. එබැවින් සත්ත්වයන් කෙරෙහි මැදහත් බව හා සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපෙක්ඛා සම්බොජ්ඣංග හේතු වශයෙන් දක්වන ලදි.
ඇතැමෙක් සත්ත්ව සංස්කාරයන් කෙරෙහි අධික ඇලුම් ඇත්තෝ ය. ඇතැම් පැවිද්දෝ තමන් ගේ ගෝල බාලයන් නිතර ම ළඟ සිටුවා ගෙන ඔවුන් හා කථා කරමින් ද, ඔවුන් ගේ වැඩ බල බලා සතුටු වීමෙන් ද කල් යවති. ගෝලයන් තමන්ට පෙනෙන හරියේ නො සිටිය හොත් අසවලා කොහිද කොයි ගියේ දැ යි සොයන්නට පටන් ගනිති. අනිකකු ඒ ගෝලබාලයන් ගෙන් වැඩක් ගන්නවාට තබා ඔවුන් හා කථා කරනවාට ද කැමති නැත. “සත්ත කෙළායන” යනුවෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ ඒ සත්ත්වයන් සුරතල් කරන බව ය.
ඇතැම්හු හොඳ භාණ්ඩයක් ලත් කල්හි එයින් තමන් ද ප්‍රයෝජනයක් නො ගෙන අනුන්ට ප්‍රයෝජනයක් ගන්නට ද නො දෙමින් නිකම් භාණ්ඩය අත පත ගාමින් බලමින් තබා ගෙන සිටිති. සංස්කාර කෙළායනය යි දැක්වෙන්නේ එය ය. එය වස්තු සුරතල් කිරීම ය. සත්ත්ව සංස්කාරයන් සුරතල් කරන නො හොත් සත්ත්ව සංස්කාරයන් හා සෙල්ලම් කරන ඒ අතිලෝභීන් සේවනය කිරීම ද උපෙක්ඛාසම්බොජ්ඣංගයට බාධකයෙකි. සත්ත්ව සංස්කාරයන්ට තදින් ඇලුම් කරන ස්වභාවය නැති, එසේ ම සත්ත්ව සංස්කාරයන් හා විරුද්ධ වන ස්වභාවය නැති, සියල්ල ගැන මැදහත් පුඟුලන් සේවනය කිරීම උපෙක්ඛාසම්බොජ්ඣංගයට කරුණෙකි. ඒ ඒ බෝධ්‍යංග ධර්ම ඇති කර ගැනීම ගැන නැමුණු සිත් ඇති බව සකල බෝධ්‍යංගයන්ගේ ම ඇති වීමට හා වැඩීමට කරුණු වේ.