“අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, හීනප්පණිතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරියා”
තේරුම :-
“මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇතහ, සාවද්‍යානවද්‍ය ධර්මයෝ ඇතහ. හීනප්‍රණීත ධර්මයෝ ඇතහ. කළු සුදු බඳු වූ පාප පුණ්‍ය ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් කෙරෙහි කාරණානුකූල ව මෙනෙහි කිරීම බොහෝ කොට පැවැත්වීම නූපන් ධම්මවිචයසම්බොජ්ඣංගයා ගේ ඉපදීමට හා උපන් ධම්මවිචය සම්බොජ්ඣංගයා ගේ වැඩීමට හා සම්පූර්ණවීමට ද හේතු වන්නේ ය.” යනුයි.
“පාපය දුකට හේතුවක්ය, කුශලය දුකින් මිදීමට සැපය ලැබීමට කරුණක් ය, පාපයෙන් සත්ත්වයෝ අපායට යන්නාහ, කුශලයෙන් සුගතියට යන්නාහ” යනාදීන් පින් පව් පිළිබඳව කාරණානුකූල ව සිතීම ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවක් බව මෙයින් දැක්විණ. ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතු වශයෙන් තවත් කරුණු සතක් අටුවාවෙහි මෙසේ දැක්වේ.
“අපි ච සත්තධම්මා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. පරිපුච්ඡිකතා, වස්තුවිසදකිරියා, ඉන්ද්‍රියසමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤවන්තපුග්ගලසෙවනා, ගම්භිරඤාණ-චරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතාති.
(1) ස්කන්ධාදි ධර්මයන් පිළිබඳ ව ප්‍රශ්න විචාරන බව ය, (2) ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් පිරිසිදු කර ගැනීම ය. (3) ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් සම කර ගැනීම ය. (4) නුවණ නැතියන් වර්ජනය කිරීම ය. (5) නුවණැතියන් සේවනය කිරීම ය, (6) ගැඹුරු වූ ස්කන්ධාදීන්හි පැවති ප්‍රඥා ප්‍රභේදයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය. (7) ධම්මවිචයසම්බොජ්ඣංගයට නැමුණු හැරුණු බර වුණු සිත් ඇති බව ය යන මේ කරුණු සත ධම්මවිචයසම්බොජ්ඣංගයේ හේතූන් බව එයින් දැක්විණ.
ස්කන්ධාදි ගැඹුරු ධර්මයන් ගැන ප්‍රශ්න ඇසීමත් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීමත් පරමාර්ථධර්ම පිළිබඳ වූ ඥානය දියුණු කර ගැනීමට හොඳ ම උපායයෙකි. එසේ කරන්නන්ට ඒ ධර්‍මයන් ගැන සිතන්නට සිදු වීමෙන් ද තමන් දැන සිටින දෙය නොයෙක් අයුරින් අනුන්ට අවබෝධ කරවීමට උත්සාහ කරන්නට වීමෙන් ද නුවණ බොහෝ වැඩේ. එබැවින් එයින් සම්බෝධියට හේතු වන ප්‍රඥාව වූ ධම්මවිචයසම්බොජ්ඣංගය ඇති වේ. වැඩේ.
ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් පිරිසිදු කර ගැනීම ය යන මෙහි ආධ්‍යාත්මික වස්තූහු නම් හිස මුහුණ අත් පා ආදීහු ය. බාහ්‍යවස්තූහු නම් චීවරාදීහු ය. යෝගාවචරයන් විසින් හිසකේ රැවුල් නිය දික් වූ කල්හි ඒවා කපා දමා ශරීරය පිරිසිදු කර ගත යුතු ය. දත් පිරිසිදුව තබා ගත යුතු ය. අත් පා පිරිසිදුව තබා ගත යුතු ය. දිනපතා හෝ සුදුසු දිනවල හෝ ජලස්නානය කොට සකල ශරීරය ම පිරිසිදු කර ගත යුතු ය. ශරීරයේ පිටපැත්ත පමණක් නොව විරේචනය කිරීම් ආදියෙන් කලින් කල ඇතුළ ද පිරිසිදු කර ගත යුතු ය. පාසිවුරු ආදි තමා ගේ පරිභෝග භාණ්ඩ පිරිසිදු ව තබා ගත යුතු ය. වාසය කරන තැන හා ඒ අවට ද පිරිසිදුව තබා ගත යුතු ය.
පිරිසිදු පහනෙහි පිරිසිදු තෙලින් පිරිසිදු පහන් වැටියෙහි දැල්වෙන ගින්න ආලෝකවත් වන්නාක් මෙන් පිරිසිදු වූ ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් ඇති තැනැත්තා කෙරෙහි ඇති වන ඥානය පිරිසිදු වෙයි. මල බැඳුණු පහනෙහි කිලිටි තෙලින් කිලිටි පහන් කඩයෙහි දැල්වෙන ගින්න අඳුරු වන්නාක් මෙන් ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් අපරිශුද්ධ පුද්ගලයාගේ සන්තානයෙහි උපදනා ඥානය ද දුබල ය. අපරිශුද්ධ ඥානය ධම්මවිචය සම්බොජ්ඣංගය ඇති කිරීමට සමත් නො වේ. එයට සමත් වන්නේ පරිශුද්ධ ඥානය ම ය. ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් ගේ පිරිසිදු බව ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවක් වශයෙන් කියනුයේ එය පරිශුද්ධ ඥානය ඇති වීමේ හේතුවක් වන බැවිනි.
ඇතැම් යෝගාවචරයෝ අපිරිසිදු බව තපස්කමේ අංගයකැයි වරදවා සිතා ගෙන හිසකේ රැවුල් දික් කර ගෙන කිලිටි සිවුරු හැඳ පොරවාගෙන හැසිරෙති. කිලිටි තැන්වල වෙසෙති. එය තපස් කිරීමේ හෝ යෝග කර්මයේ අංගයකැයි ගැනීම ඔවුනට වැරදීමකි. හැකිතාක් පිරිසිදු ව විසීම ම යෝගාවචරයා ගේ අංගයකි. පිරිසිදු කිරීම සැරසීමය යි ද වරදවා නො ගත යුතු ය. සැරසීම අනෙකකි. පිරිසිදු කිරීම අනෙකකි. පිරිසිදු කිරීමය කියා ශරීරය හෝ වාසස්ථානය හෝ සරසන්නට නො යා යුතු ය. යෝගාවචරයන්ට සුදුසු චාම් බව ම ය. සියල්ල සැරසීමෙන් තොර ව පිරිසිදු ව තබා ගත යුතු ය.
ඉදින් යෝගාවචරයා හට සෙසු ඉන්ද්‍රියයන්ට වඩා සද්ධින්ද්‍රියය බලවත් වුවහොත් ඒ බලවත් වූ සද්ධින්ද්‍රියය නිසා විරියින්ද්‍රියයට අනුබල දීමේ කෘත්‍යය ද, සතින්ද්‍රියයට අරමුණ මතු කර දීමේ කෘත්‍යය ද, සමාධින්ද්‍රියට සිත අරමුණෙහි මනා කොට පිහිටවීම ද, පඤ්ඤින්ද්‍රියයට අරමුණ මනා කොට දැකීම ද මැනවින් සිදු කරන්නට නො හැකි වේ. සකල ඉන්ද්‍රියයන් ම සම සේ ක්‍රියා නො කළ හොත් ධ්‍යානමාර්ග ඵලයන් නූපදනේ ය. වක්කලී තෙරුන් වහන්සේ ගේ කථාව මෙයට සාධක වශයෙන් දැක්විය යුතු ය.
සද්ධින්ද්‍රිය බලවත් වූ කල්හි යෝගාවචරයා විසින් ධර්ම ස්වභාවයන් මෙනෙහි කිරීමෙන් හෝ ශ්‍රද්ධාව වැඩෙන කරුණු ගැන නො සිතා හැරීමෙන් හෝ බලවත් වූ සද්ධින්ද්‍රිය දුබල බවට පැමිණ විය යුතු ය. ඉදින් යෝගාවචරයා ගේ විරියින්ද්‍රියය අධික බලයට පැමිණියේ නම් එකල්හි සද්ධින්ද්‍රියය නිසැක ව පිළිගැනීමේ කෘත්‍යය සිදු කරන්නට අපොහොසත් වෙයි. සෙසු ඉන්ද්‍රියයෝ ද ඔවුන් අයත් ඒ ඒ කෘත්‍යයන් සිදු කිරීමට අපොහොසත් වෙති. එයට සාධක වශයෙන් සෝණ තෙරුන් වහන්සේ ගේ කථාව දැක්විය යුතුය.
යෝගාවචරයා විසින් බලවත් වූ විරියින්ද්‍රිය පස්සද්ධි-සම්බොජ්ඣංගය වැඩීමෙන් හෝ වීර්‍ය්‍යය බලවත් වන කරුණු නො සිතා හැරීමෙන් හෝ දුබල බවට පැමිණවිය යුතු ය. ඉන්ද්‍රියයන්ගෙන් කවරක් වුව ද අධික බලයට පැමිණිය හොත් ඉතිරි ඉන්ද්‍රියයන්ට තම තමා අයත් කෘත්‍යය මැනවින් සිදු කළ නො හැකි වීමේ දෝෂය වන්නේ ය. එබැවින් යෝගාවචරයන් විසින් නිතර ම ඉන්ද්‍රියයන් සම බලයෙන් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු ය. විශේෂයෙන් ම ශ්‍රද්ධා ප්‍රඥා දෙක්හි හා සමාධි වීර්‍ය්‍ය දෙක්හි සම බව වුවමනා ය.
නුවණ මඳ ශ්‍රද්ධාව වැඩි තැනැත්තා මෝඩ සැදැහැවතකු විය හැකි ය. හෙතෙමේ නො පැහැදිය යුතු තැනට ද පහදින්නේ ය. එයින් හේ පිරිහෙන්නේ ය. ශ්‍රද්ධාව හීන වූ නුවණ වැඩි තැනැත්තා කෛරාටික වී පැහැදිය යුතු තැනට ද නො පහදින, පින් නො කරන කෙනකු විය හැකි ය. හෙතෙමේ බෙහෙතින් හට ගත් ලෙඩක් ඇතියකු වැනි ය. බෙහෙතෙන් ම හටගත් රෝගය සුව කිරීමට අපහසු ය. එසේ ම පුණ්‍යක්‍රියාවල ඔහු යෙදවීමට ද දුෂ්කරය. හේ ‘සිතීම් මාත්‍රයෙන් ම පින් සිදු වන්නේ ය, ඒ ගැන මහන්සි වන්නට වුවමනා නැතය’ යි කියමින් කිසි පිනක් නො කොට අපාගත වන්නේ ය. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පවත්නා කල්හි පුද්ගලයා පැහැදිය යුතු තැනට ම පැහැදී නො මඟ නො ගොස් පින්කම් කොට දුකින් මිදී සැපයට පැමිණෙන්නේ ය.
යමකුට සමාධිය බලවත් වී වීර්‍ය්‍යය දුබල වුවහොත් සමාධිය ථීනමිද්ධයට පක්ෂ ධර්මයක් බැවින් ඒ යෝගාවචරයා ගේ සන්තානයට පහසුවෙන් ථීනමිද්ධයට පැමණිය හැකි ය. යමකුට වීර්‍ය්‍යය බලවත් වී සමාධිය දුබල වුවහොත් වීර්‍ය්‍යය ඖද්ධත්‍යයට පක්ෂ බැවින් ඒ තැනැත්තාගේ සන්තානයට පහසුවෙන් ඖද්ධත්‍යයට පැමිණිය හැකි ය. සමාධිය වීර්‍ය්‍යයෙන් යුක්ත වූ කල්හි ථීනමිද්ධයට පැමිණීමට අවකාශ නො ලැබේ. වීර්‍ය්‍යය සමාධියෙන් යුක්ත වන කල්හි ඖද්ධත්‍යය ඇති වීමට අවකාශ නො ලැබේ. එබැවින් යෝගාවචරයන් හට වීර්‍ය්‍ය සමාධීන් සම ප්‍රමාණයෙන් පවත්වා ගැනීමේ අපේක්ෂාව නිතර ම තිබිය යුතු ය. ධ්‍යාන හෝ මාර්ග ඇති වන්නේ වීර්‍ය්‍යසමාධීන් සම ව පවත්නා කල්හි ම ය.
සමාධි ප්‍රඥා දෙකින් සමාධිය වඩන්නහුට බලවත් වූ ශ්‍රද්ධාව තිබීම ද යෝග්‍ය ය. බලවත් ශ්‍රද්ධාවෙන් සමාධිය වඩා ඔහුට ධ්‍යානය ද පැමිණිය හැකි වන්නේ ය. සමාධිය වඩන්නහුට බලවත් සමාධිය ද සුදුසු ය. හේ බලවත් සමාධිය නිසා අර්පණාවට පැමිණේ. විදර්ශනා වඩන්නහුට ප්‍රඥාව බලවත් ව තිබීම ද සුදුසු ය. බලවත් ප්‍රඥාව ගේ වශයෙන් හේ සත්‍යයන් දැක මාර්ග ඵල ලබන්නේ ය. සතිය වනාහි සෑම දෙනාට ම සෑම කල්හි බලවත් ව තිබීම ම සුදුසු ය. ඒ සතිය වනාහි ඖද්ධත්‍යපාක්ෂික ශ්‍රද්ධා වීර්‍ය්‍ය ප්‍රඥාවන් නිසා ඖද්ධත්‍යයට වැටෙන්නට ද ස්ත්‍යානමිද්ධපාක්ෂික සමාධිය නිසා අලස බවට වැටෙන්නට ද නො දී යෝගාවචරයා ගේ සිත රක්නේ ය. එබැවින් මේ සතිය සකල ව්‍යඤ්ජනයන්හි ම ලුණු තිබිය යුතුවාක් මෙන් යෝග කර්මයේ මුල මැද අග යන සැම තැනම ද යෝගයට අයත් සකල කෘත්‍යය විෂයයෙහි ද තිබිය යුතු ය.
නුවණ නැතියන් වර්ජනය කිරීමය යන මෙහි අදහස් කරන නුවණ නැතියෝ නම් ස්කන්ධාදි ධර්ම ගැන දැනුම නැතියෝ ය. ස්කන්ධාදි ධර්ම ගැන දැනුම ඇතියෝ ලෝකයෙහි සුලභ නැත. ලොව පිරී තිබෙන්නේ ඒ ධර්ම නො දත් බාලයන් ගෙන් ය. එ බැවින් කෙනකුට සර්වාකාරයෙන් ඔවුන් වර්ජනය කොට නො විසිය හැකි ය. ඒ ඔවුන් වර්ජනය කිරීම ය යනුවෙහි තේරුම ඔවුන් හා භජනය අඩු කිරීම ය යි දත යුතු. ස්කන්ධාදි ධර්ම විභාග නො දතුවන් ගේ අදහස් ය, කථා ය, ක්‍රියා ය යන සියල්ල ම ධර්මයට විරුද්ධ ඒවා ය. ඔවුන් හා එක් ව වෙසෙන එක් ව ක්‍රියා කරන තැනැත්තාට ද නිතර ඒ අදහස්වලට අනුකූල වන්නට සිදු වීම ඒ තැනැත්තාට සත්‍යදර්ශනය ඇති කර ගැනීමට බාධාවක් වේ. ඔවුන් භජනය නො කරත හොත් එය නො වෙයි. සත්‍ය දර්ශනයට බාධක දෙයක් නැතිවීම ද එය ඇති වීමට උපකාරයෙකි. නුවණ නැතියන් වර්ජනය කිරීම ධම්මවිචය සම්බොජ්ඣංගයට හේතුවකැයි කියන ලදුයේ එහෙයිනි.
ස්කන්ධාදි ධර්ම හඳුනන්නා වූ ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දන්නා නුවණැතියන් බොහෝ කොට සේවනය කරන කල්හි ඒ නුවණැතියන් ගේ කථා ඇසීමෙන් ඔවුන් ආශ්‍රය කරන තැනැත්තාට ද ඥානය ඇති වේ. නුවණැතියන් සේවනය කිරීම ධම්මවිචයසම්බොජ්ඣංගයට හේතුවකැ යි කියන ලදුයේ එහෙයිනි.
ස්කන්ධාදි ගම්භීර ධර්ම බොහෝ ය. ධර්මයන්ගේ වශයෙන් ඒවා ගැන පවත්නා ඥානයෝ ද බොහෝ වෙති. නිදානවග්ග සංයුත්තයෙහි “චතුචත්තාළීස ඤාණවත්ථු, සත්තසත්තති ඤාණවත්ථු” යනුවෙන් දැක්වෙන සිවුසාලිස් නුවණ ය. සත් සැත්තෑ නුවණ ය, පටිසම්භිදාමග්ගයෙහි දැක්වෙන තෙසැත්තෑ නුවණ ය යන මේවා ගම්භීර ධර්ම විෂයෙහි පවත්නා ඥානයෝ ය. ඒ ඥානයන් ගැන සිතන්නහුට ඒවාට විෂය වන ධර්මයන් ගැන සිතන්නට සිදුවේ. එයින් ඥානයන් ගැන සෙවීම - සිතීම - විමසීම කරන්නහුට ද නුවණ වැඩේ.