බෝධ්‍යංග වැඩීම කළ යුත්තේ ද ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම් වශයෙනි. භාවනා සිද්ධියෙන් බෝධ්‍යංග සිද්ධිය වේ. බෝධ්‍යංග සිද්ධියෙන් භාවනා සිද්ධිය වේ. කර්මස්ථාන දායක ආචාර්‍ය්‍යවරයකු නො ලබන කල්හි අන් ක්‍රමයකින් හෝ කර්මස්ථානයක් හොඳින් උග තයුතු ය. ඉක්බිති විවේකස්ථානයකට එළඹ තමා භාවනා කරන වේලාව පැමිණි කල්හි කාම විතර්කාදියෙන් තොර ව සිත ඒ ආරම්මණයෙහි ම පිහිටුවා ගෙන නියමිත කාලයෙහි භාවනාවෙහි යෙදිය යුතු ය. එසේ කරන කල්හි එයින් සති සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. එය සති සම්බොජ්ඣංගය වඩන සැටි ය.
එසේ භාවනා කරන තැනැත්තා විසින් කේශාදි කොට්ඨාසයන් ගැන භාවනා කරන්නේ නම්, ඒ කේශාදීන් ගේ පැහැ සටහන් ආදිය හොඳින් වැටහෙන සැටියට සිතිය යුතු ය. අන්‍ය ශමථ භාවනාවක් කරන්නේ නම්, භාවනාරම්මණය ඇසට පෙනෙන්නාක් මෙන් හොඳින් පැහැදිලි ව සිතට පෙනෙන පරිදි ඒ අරමුණ ගැන සිතිය යුතු ය. විදර්ශනා කරන්නේ නම් නාමරූප ධර්මයන් පැහැදිලි ලෙස පෙනෙන සේ ද අනිත්‍යාදි ලක්ෂණයන් පැහැදිලි ලෙස පෙනෙන සේ ද සිතිය යුතු ය. භාවනා කළ යුතු ය. භාවනාරම්මණය පැහැදිලි වන සේ සිතමින් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයාට එයින් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. එසේ භාවනා කිරීම ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීම ය.
එසේ භාවනා කරන්නා වූ තැනැත්තා හට ඒ ඒ අවස්ථාවල දී ශීතයෙන් ද, උෂ්ණයෙන් ද, සාගින්නෙන් ද, පිපාසාවෙන් ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් ද, ශාරීරික බාධාවලින් ද, සතුරන්ගෙන් ද, තවත් සමහර කරුණුවලින් ද කරදර පැමිණිය හැකි ය. ඔහු විසින් කිනම් කරදරයක් නිසාවත් තමාගේ භාවනාව නො හැර දමා කර ගෙන යා යුතු ය. නො පසු බැස නො නවත්වා භාවනාව කරගෙන යාම සම්බන්ධයෙන් වීර්‍ය්‍යය කරන කල්හි ඔහුට විරියසම්බොජ්ඣංගය වැඩේ. ඔහු නොපසු බැස භාවනාව කරගෙන යාම විරිය සම්බොජ්ඣංගය වැඩීම ය.
සති සම්බොජ්ඣංගයා ගේ වශයෙන් සිත භාවනාවෙහි පිහිටන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගයා ගේ වශයෙන් භාවනාරම්මණය මනා කොට දක්නා වූ විරිය සම්බොජ්ඣංගයා ගේ වශයෙන් නො පසු බැස භාවනාව කර ගෙන යන්නා වූ යෝගාවචරයාට තමා ගේ භාවනාව සම්බන්ධයෙන් නිරාමිෂ ප්‍රීතිය ඇති වන්නේ ය. ඒ ප්‍රීතියෙන් පින පිනා භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට පීතිසම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. නිරාමිෂ ප්‍රීතියෙන් භාවනාවෙහි යෙදීම පීතිසම්බොජ්ඣංගය වැඩීම ය.
භාවනා කරන අතර ද චිත්ත - චෛතසිකයන් නො සන්සුන් බවට පමුණුවන ඖද්ධත්‍යාදි ක්ලේශයන් ගෙන් යුක්ත සිත් ද ඇතිවීම ස්වභාවයකි. ඒවා ඇති වීම නිසා භාවනා කරන කාමාවචර කුශල චිත්තයා ගේ සන්සුන් බව ද හීන වේ. යෝගාවචරයා විසින් ප්‍රීතිය පහළ කරගෙන ප්‍රීතියෙන් භාවනා කරන කල්හි අතර අතර ඖද්ධත්‍යාදි ක්ලේශයන් ගෙන් යුක්ත සිත් පහළ වීම මඳ වේ. එයින් යෝගාවචරයා ගේ චිත්ත චෛතසිකයෝ සන්සිදෙති, පරම සුන්දර ශීතල භාවයට පැමිණෙති. ඒවායේ ගුණයෙන් යෝගාවචරයාගේ ශරීරය ද සන්සිඳී සිසිල් බවට පැමිණේ. ශරීරයට සනීපයක් ඇති වෙයි. එසේ සන්සිඳුණා වූ සිත පවත්වා ගෙන භාවනාවෙහි යෙදීම පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීම ය.
“පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති” යි වදාළ පරිදි පස්සද්ධිසම්බොජ්ඣංගයාගේ වශයෙන් සිත කය සන්සිඳවා ගෙන භාවනා කරන්නා වූ යෝගාවචරයා හට සන්සිඳීමෙන් වන්නා වූ සුව ය නිසා පෙරට වඩා බලවත් වූ සමාධිය ඇති වේ. ඒ සමාධියෙන් භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට සමාධිය වැඩේ. කායචිත්තසුඛය පදනම් කොට ඇති සමාධියෙහි පිහිටා භාවනාවෙහි යෙදීම සමාධි සම්බොජ්ඣංගය වැඩීම ය. ඒ සමාධිය ප්‍රථමයෙන් ඇති කර ගැනීමත් සමාධි සම්බොජ්ඣංගය වැඩීම ම ය.
භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට සති සම්බොජ්ඣංගය දුබල වුවහොත් සිත කර්මස්ථානයෙන් බැහැරට යන්නට පටන් ගනී. සිහිය තබා ගෙන සිටීමෙන් යෝගාවචරයාට වෙහෙස ඇති වේ. ධම්මවිචයසම්බොජ්ඣංගය දුබල වුවහොත් සිත කමටහනෙහි ම පිහිටියේ ද අරමුණ හොඳින් නො වැටහෙයි. භාවනාරම්මණය ප්‍රකට නොවෙයි. භාවනාරම්මණය ප්‍රකට කර ගැනීමට උත්සාහ කරන කල්හි වෙහෙස නිවා භාවනාව කරන්නට අපහසු වෙයි.
විරියසම්බොජ්ඣංගය දුබල වන කල්හි අලස බව හා නිදිමත ඇති වීමෙන් භාවනාවට බාධා ඇති වේ. විරියසම්බොජ්ඣංගය උත්සන්න වූ කල්හි එයින් උද්ධච්චය ඇති වීමෙන් භාවනාවට බාධා වේ. පීතිසම්බොජ්ඣංගය හීන කල්හි භාවනා කිරීමේ උත්සාහය හීන වේ. එය උත්සන්න වීමෙන් උද්ධච්චයාගේ වශයෙන් සිත සැලෙයි. පස්සද්ධිසම්බොජ්ඣංගය හීන වූ කල්හි කාය චිත්ත පීඩා නිසා භාවනාවට බාධා වේ. එය උත්සන්න වූ කල්හි අලස බව ඇති වීමෙන් භාවනාවට බාධා වේ.
සමාධිසම්බොජ්ඣංගය හීන වන කල්හි උද්ධච්චයාගේ වශයෙන් සිත සැලෙන්නට වේ. එය උත්සන්න වූ කල්හි ස්ථ්‍යානමිද්ධයන් ඇති වී භාවනාවට බාධා වේ. බොජ්ඣංග විෂමතාවෙන් වන බාධාවන් නැති කොට ඒවා සමත්වයට පමුණුවා ගෙන යෝග කර්මය හැඩගස්සා ගැනීමට යෝගාවචරයකුට දීර්ඝ කාලයක් ගත වේ. බොජ්ඣංගයන් සම භාවයට පමුණුවා ගැනීම පිණිස බොජ්ඣංග සම වන සැටියට භාවනාවෙහි යෙදීම උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීම ය. සකල බෝධ්‍යංගයන් ම බලයෙන් සමත්වයට පමුණුවන, උපේක්ෂාසම්බෝධ්‍යංගය වැඩුණු කල්හි භාවනා කර්මය සුදුසු සේ පිළියෙල කිරීම සම්බන්ධයෙන් උත්සාහයක් කරන්නට සිදු නො වේ. නිරුත්සාහයෙන් කරන්නාක් මෙන් භාවනාව මනා කොට සිදු වේ. ඒ තත්ත්වයට පැමිණි කල්හි එය එසේ ම පවත්වා ගනිමින් භාවනාවෙහි යෙදීම ද උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීම ය.
බෝධ්‍යංගයන් ගෙන් සතිසම්බොජ්ඣංගයේ කෘත්‍යය කමටහනෙන් බැහැරට යන්නට නො දී සිත පාලනය කිරීම ය. ධම්මවිචය සම්බොජ්ඣංගයේ කෘත්‍යය කමටහන ප්‍රකට කර දීම ය. විරියසම්බොජ්ඣංගයේ කෘත්‍යය අත නො හැර භාවනාව කරගෙන යාමට සිතට රුකුල් දීම ය. පීතිසම්බොජ්ඣංගයේ කෘත්‍යය භාවනා කර්මයෙහි සිත පිනවීම ය. පස්සද්ධිසම්බොජ්ඣංගයේ කෘත්‍යය කාය චිත්ත පීඩා සන්සිඳවීම ය. සමාධි සම්බොජ්ඣංගයේ කෘත්‍යය භාවනාරම්මණයෙහි සිත නො සැලෙන සේ පිහිටවීම ය. උපෙක්ඛාසම්බොජ්ඣංගයේ කෘත්‍යය බෝධ්‍යංගයන් සමත්වයට පැමිණවීම ය.
සකල බෝධ්‍යංගයන් වැඩී සමත්වයෙන් සිටි කල්හි භාවනවෙහි යෙදෙන යෝගාවචරයා හට චක්‍රරත්නය, හස්ති රත්නය, අස්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, පරිණායකරත්නය යන රත්නයන් ලබා මුළු ලොවට ම රජ ව සිටින සක්විති රජකු එයින් ලබන ප්‍රීතියට සුවයට වඩා මහත් වූ ප්‍රීතියක් සුවයක් භාවනාව නිසා ලැබෙන්නේ ය. ඒ අවස්ථාවෙහි ඇත්තා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ රසය ඉතා උසස් ය. “සබ්බං රසං ධම්මරසො ජිනාති” යි වදාරා තිබෙන්නේ ඒ රසය සඳහා ය.
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තවිත්තස්ස භික්ඛුනො,
අමානුසී රතී හොති සම්මා ධම්මං විපස්සතො”
යනු වදාරා තිබෙන්නේ ද ඒ අවස්ථාවෙහි යෝගාවචරයන්ට ලැබෙන ප්‍රීතියේ හා සුවයේ මහත් බව නිසා ය.